සූ සැට බරණින් සැරසීලා ගීතයට විචාරයක්

0
198
composing-2391033_640

කලාවට පැවරී ඇති කාර්ය භාරයන් රැසකි.ඒ අතරින් එකක් ලෙස අප හදුනා ගන්නේ ‍යල්පැන ගිය චිරාගත ,අවලංගු වී ගිය ජන පීඩක,දෘෂ්ටි වාදයන් බිද හෙළීමයි.ඒ සම්බන්ධයෙන් විවාද තිබෙන්නට පුළුවන.එහෙත් එය එසේ විය යුතුමය.එසේ නොවන්නට ලංකාව වැනි රටවල හුස්ම ගන්නා මිනිසුන්ට මේ එල්ල වී තිබෙන්නා වූ දුක් දොම්නස් වලට අමතරව එකී චිරාගත අවස්තාවාදී දෘෂ්ටියෙන් ද පහර පිට පහර කන්නට සිදු වන්නේ ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇන්නා සේය.මේ තත්ත්වය හොඳින් ජයරත්න ගමගේ නම් ගේය පද රචකයා හොඳින් අවබෝධ කර ගන්නවා .ඔහු නීලා වික්‍රමසිංහ සිරිමතියට ගීතයක් ලියනවා.ඊට අපූරුවට ස්වර රචනාවක් වික්ටර් රත්නායකයන් සපයනවා…ඒ අනුව මේ ගීතය ගුවන් විදුලියේ ස්වර්ණ දශක වලදී ශ්‍රාවක යුග සවන් පත් වැළද ගන්නවා ..එහි පවතින විශිෂ්ටත්වය නිසා අදටත් මේ ගී මිණ බොහෝ ශ්‍රාවක සිත් ආමන්ත්‍රණය කරනවා …

ව්ශාකා සිටුදේවී පුවත මේ ගීතයට මූලාශ්‍ර කර ගත්තා ද රචකයා ඒ මූලාශ්‍ර දර්ශනය අභියෝගයට ලක් කරනවා.ඇය බුද්ධ කාලීන භාරතයේ සියලුම සැප සම්පත්තීන් වලින් ආඩ්‍ය ධනවත් වාණිජ පැලැන්තියේ ළදකි.සව් සැප සපිරිය.ඇය එකල සමාජය විසින් පනවන ලද්දා වූ සදාචාරය නම් වර පටින් බැදී ඉන් ශෝභිතව සිට් බැව් පැවසේ.සියල්ල උපරිමයෙන්ම ඇගේ දෙපා මුලට වන් කල ඇයට සදාචාරය නම් නියර නොබිදී ජීවත් වන්නට ඇති බාධා නම් කවරෙක් ද…මේ මෙසේ වුවත් බුද්ධ කාලීන භාරතයේ අති පීඩිත කටුක දුෂ්කර ජීවිත ගෙවූ ලියන් පිළිබදව බණ කතා පොත් වල සදහන් වුණි. එම ස්ත්‍රීන්ට නම් මේ සදාචාරය වූ කලි ඇයගේ දෙවුර මතට වන් ඇය මිරිකා පොඩි පට්ටම් කරන අදෘශ්‍යමාන බලවේග පමණක්ම විය.
භාරතීය සංස්කෘතියෙන් පෝෂණය වූවා යයි කියනු ලබන සිංහල සංස්කෘතියේ පවුල් සංස්ථාව පුරුෂොත්තමවාදී ලෙසින් ගොඩ නැගී ඇති හෙයින් ස්ත්‍රීහු ඊට යට වී අපා දුක් විදිති.මේ ගීතයේ ගොවි ලියකි.ඇයට බුද්ධ කාලීනව ගොඩ නැගුණු සදාචාරය අනුව නිසංසලේ ලැසි ගමනින් යා හැකිද..එසේ හැකියාව නැත.ඒ ඇයි…පිළිතුරු ගීතය පුරාම ඇත.ඇය ඊට ප්‍රතික්‍රියා දක්වන්නීය.ඒ වර්තමාන ආර්තික දරිද්‍රතා දෘෂ්ටියෙනි .

පමා උනෝතින් මන්දාරම් යකු
පළාපු දර ටික තමා දමාවී..
පමා උණෝතින් රත්තියි පැටියයි
ඕවිට අයිනේ තෙමී නහීවී…

අනෝරා වැසි ඇද වැටෙන්නට සූදානම් මේ මොහොතේ ව්ශාකා වගේ ලැසි ගමනින් ආවොත් සිදුවිය හැකි විනාශය කතකාව පවසන්නීය .පළාපු දරටික වැස්සට තෙමෙනු ඇත.එසේ වුවහොත් ආහාර පාන පිස ගන්නට නොහැකි වේ.එසේ වූ විට කුස ගින්නේය.එපමණක්ද? නැත.වත්ත පහළ ගැට ගසා සිටින රත්තී නම් එළදෙන,සහ වසු පැටියා වැස්සට තෙමීගෙන ලෙඩ රෝග වලට ගොදුරුව නහිනු ඇත.එවිට ඇයට කිරි විකුණා ලැබෙන මිලක් නැත.ආදායමක් නැත.සියල්ල එතැනින් හමාර වනු ඇත.අලුතින් එළදෙනක් මිළදි ගන්නට වත්කම් කොහිද?

පමා උණෝතින් දොළ දෙගොඩ තළාලා
ඒ දඩු මංකඩ අගුළු දමාවි
එහෙම උනෝතින් උපුලියි චූටියි
කදුළු වතුර බී බලා හිදීවී….

ව්ශාකා වගේ ලැසි ගමනින් පැමිණිය හොත් සිදුවිය හැකි අනෙකුත් ගැටලු කතකාව දිගටම ගෙනහැර දක්වන්නීය .අනෝරා වැසි ඇද වැටීම නිසා ඇළ දොළ දෙගොඩ තළා ගොස් ඒ දණ්ඩ යටවනු ඇත.එවිට ඇයට නිවෙසට යා නොහැකිය .එසේ වුවහොත් ඇගේ දරු පැටව් දෙදෙන එගොඩ පැල්කොටේ තනිවෙනු ඇත.පැටව් භීතියෙන් හඩා වැටෙනු ඇත.ඔවුන්ගේ ජීවිතද අනතුරේය.අධික ගංවතුරක් නම් රෑ එළිවෙන තුරු ගංවතුර පැවතිය හොත් තත්ත්වය අතිශය දරුණුය.මේ කතකාව ගොව් ගැමි ලියකි.ඇගේ පීඩනය කෙතරම් දැයි..ගේය පද රචකයා පරිකල්නය කරයි.

මේ ගීතය ගොවි ගැමි ලියක තතු අනාවරණය කරයි.අද බොහෝවිට අප දකින්නේ ඇගළුම් කරමාන්ත ශාලා තුළ අනේක විධ දුක් උහුලන කාන්තාවන්ය.මැදපෙරදිග අවදානම් සහගත රැකියා වල නිරත ළදුන්ය.ඔවුහු අපා දුක් විදිති.හොරු ,සල්ලාලයන්,කාමාතුරයන්, අවස්තාවාදීන් ඔවුහු බිල්ලට ගන්නට මාන බලති.තතු මෙසේ නම් තව දුරටත් ඇය සදාචාරය කර පින්නාගෙන ජීවිතය අනතුරේ හෙළා ගත යුතුද..අනෙක සදාචාරය යනු එක් අතකින් බැලූ කල ස්ත්‍රීය පයින් මැඩගෙන සිටින්නට පුරුශෝත්තම සමාජ ක්‍රමය විසින් ගොඩ නගන ලද අවැසි විටක පුරුෂයාට කැමැති විදියට ස්ත්‍රියට පහර දෙන්නට තනාගන්නා ලද අවි ආයුධ නොවේද? චිරාගත දෘෂ්ටිවාදය අභියෝගයට ලක් කළ අගනා ගී මිණක් නොවේද මෙය.

විපුල්  ප්‍රේමකුමාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here