විදුලි බලාගාර ඉදිකිරීම ප‍්‍රමාද වීම ඇතුළු දුෂණ සෙවීමට කොමිසමක් අවශ්‍යයි

0
64
LNG-power_plant_kelawarapitiya

ශී‍්‍ර ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වසා දැමීමේ තීරණයට පෙර විදුලි බලාගාර ඉදිකිරීම ප‍්‍රමාද වීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව සොයා බැලීමට පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් ස්ථාපිත කරන්නැයි ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා සේවක සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.
 
 විදුලිබලාගාර ඉදි නොකිරීම පසුපස සිටින්නේ කවුරුන් ද, ඔවුන්ගේ අරමුණු මොනවාද, ඒ සඳහා ඔවුන් අනුගමනය කරන සැලසුම් මොනවාද යන්න මෙන්ම දිගුකාලීන විදුලි ජනන සැලසුම් සදහා අනුමැතිය ලබා දීම සහ විදුලි  බලාගාර සදහා අවශ්‍ය අනුමැතිය ලබාදීම ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ප‍්‍රමාද කර ඇති දැයි එමගින් සොයාගත හැකි වනු ඇති බවත් ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියෙහි දැක්වේ.
 
 විදුලිබල පද්ධතියට අවශ්‍ය වන්නා වූ බලාගාර වෙනුවට හදිසි විදුලිය මිලදී ගැනීම් සඳහා යම් යම් පාර්ශ්ව විසින්, බලාගාර ඉදිකිරීම කූට උපක‍්‍රම මගින් ප‍්‍රමාද කරන බවට වන සැකයක් සිය සේවක සංගමයට ඇති බවත්, ජනාධිපතිවරයාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයෙහි සඳහන් 70% ක් වන පුනර්ජනනීය බලශක්ති ජනනයට අදාළ ප‍්‍රතිපත්තිය පිළිගෙන ඒ අනුව කටයුතු කිරීමට යම් පිරිසක් මැලිකමක් දක්වන බව පෙනී යන බවත් ලිපියේ සඳහන් වෙයි.
 
 විදුලිබල කර්මාන්තයෙහි යහපැවැත්මට මෙන්ම, ඒකාධිකාරී ස්වරූපයක් දරන කර්මාන්තයක් තුළ පාරිභෝගික සුබසිද්ධිය හා ආරක්ෂාව තහවුරු කිරීමට නියාමන ආයතනයක ක‍්‍රියාකාරීත්වය ප‍්‍රබල පිටුවහලක් බවත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙහි අවශ්‍යතාව විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයද ඇතුළුව එහි වෘත්තීය සමිතිද අවධාරණය කර ඇතැයි ලිපියෙහි දැක්වේ.
 
 මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත මගින් නියාමනයට ලක් කිරීමට හදුනාගෙන ඇති විදුලිබල, ජල සේවා හා ඛනිජ තෙල් යන කර්මාන්ත තුනට අදාළ රජයේ අමාත්‍යවරුන්, ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් හා විශේෂයෙන්ම සමස්ත විදුලි පාරිභෝගිකයන්ද නියාමන ආයතනයක් ලෙස එහි වැදගත්කම අවධාරණය කර ඇති වටපිටාවක මෙම කොමිෂන් සභාව වසා දැමීමට යම් බලවේගයක් ක‍්‍රියාත්මක වී ඇතැයි සාධාරණ සැකයක් පවතින බව එම සේවක සංගමය පවසයි.

එකී ලිපිය ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා සේවක සංගමය විසින් පසුගිය 28 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර තිබේ.

මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here