රැකියාලාභි උපාධිධාරීන් පුහුණු කරනවට වඩා වියත්මග සාමාජිකයින් පුහුණු කිරීම වැදගත්

0
222
edirige satahana

බලයට පත් වූ පසුව රැකියා විරහිත සියලු උපාධිධාරීන්ට  කොන්දේසි විරහිතව රැකියා ලබා දෙනවා යන්න ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මෙන්ම ජනාධිපතිවරණයේදී ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ  සජිත් ප්‍රේමදාස මහතාගේ ද ප්‍රධාන මැතිවරණ පොරොන්දුවකි . ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ ජිත් ප්‍රේමදාස මැතිතුමාගේ පොරොන්දු දෙස අවධානය යොමු  කර හොත් අපට පෙනීයන ප්‍රධානම කාරණය වන්නේ එම පොරොන්දු අතර හරාත්මක ව බොහෝ සමාන කම් ඇති බවයි.  නමුත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මැතිවරණයෙන් ජයග්‍රහණය කරනු  ලබන්නේ ජනතාවට දුන් පොරොන්දු   සජිත් ප්‍රේමදාසට වඩා හොඳින් ඉටු කිරීමට එක් කණ්ඩායමක් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වටා ඒකරාශීව සිටිනවා යයි ජනතාව විශ්වාස කිරීමයි .  එම කණ්ඩායම ජනතාව හඳුනා ගත්තේ වියත් මග එකමුතුව ලෙසටයි .

 වියත්මග සාමාජිකයන් මැතිවරණ සමයේදී සිදුකරන ලද විවිධ ප්‍රකාශයන්  සහ ජනමාධ්‍ය ඉදිරියේදී  ඔවුන් විසින් අපේ රටේ පවතින ප්‍රශ්න  විසදන ආකාරය පිළිබඳ කරන ලද විවිධ පැහැදිලි කිරීම් හමුවේ එදා මෙන්ම අදත් බොහෝ ජනතාව සුබ සිහින දකිමින්  මනෝමය ලෝකයක  මත් වී සිටිති. 

කෙසේ වෙතත් දැන් එළඹ ඇත්තේ වියත් මග පෙරටුකරගත් වත්මන් ආණ්ඩුවේ වැඩ කිඩ ගෙන අවබෝධයක් ලබාගත  හැකි කාලයයි .  ගෝඨාභය රාජපක්ෂ මහතා පොරොන්දු වූයේ රැකියා වැඩසටහන 2020 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කරන බවටය .  නමුත් ආණ්ඩුව එය ආරම්භ කිරීමට කටයුතු කරනු ලැබුවේ පසුගිය මාර්තු මාසයේදීය .   එම ප්‍රමාදය සම්බන්ධව අප මෙහිදී අදහස් දැක්වීම කටයුතු නොකරමු .  ඊට හේතුව යම් යම්  ප්‍රායෝගික ගැටලු හමුවේ එවන් වූ ප්‍රමාදයන් ඇතිවීම   ස්වාභාවික කාරණයක් වන නිසයි. නමුත් රැකියා ලබාදීමට කටයුතු කිරීමේදී ආණ්ඩුව හැසිරුණු ආකාරය මෙහිදී කතා කළ යුතුමය. ආණ්ඩුව සඳහන් කළ ආකාරයට උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් ම අයදුම්පත්‍ර සෘජුවම ජනාධිපති ලේකම් කාර්යාලයට  යොමු කළ යුතුව තිබිණි.  ඊට පසුව අයදුම්කරුවන්  හට සිය  පත්වීමේ ලිපි තැපැල් මගින් සිය නිවසටම එවා තිබුණු අතර එමගින් දන්වා සිටියේ දින හතක් ඇතුළත අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ  වැඩ භාර ගැනීමට කටයුතු කළ යුතු බවටයි .  ඒ අනුව  පත්වීම් ලිපි ලද බොහෝ උපාධිධාරීන් සහ  ඩිප්ලෝමාධාරින්   ප්‍රාදේශීය ලේකම් කාර්යාල වැඩ භාර ගැනීමට කටයුතු කළහ.  මෙසේ සිදුවීම් සිදු වෙද්දී ආණ්ඩුව විසින් කඩිමුඩියේම මහමැතිවරණය සඳහා පාර්ලිමේන්තුව  විසුරුවා හරින ලදී . 

 නිශ්චිත සාධාරණ කාලසීමාවක් නොමැතිව මැතිවරණ කාලයකදී රැකියා ලබාදීමට කටයුතු  කළහොත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට අදාළ පත් කිරීම් අත්හිටවීමට මෙරට නීතියෙන්  ඉඩප්‍රස්ථාව සලසා දී තිබේ. ඒ අනුව මැතිවරණ කොමසාරිස්වරයා එම පත් කිරීම් තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කරන ලදී.  ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වරයා බවට පත්වී සිදුකරන ලද  ප්‍රධානතම ඡන්ද පොරොන්දුවක් ඉටුකිරීම මෙලෙස අසාර්ථක වන්නේ ඒ සම්බන්ධයෙන් නිසි කළමනාකරණයකින් තොරව තීන්දු තීරණ ගැනීම බව තේරුම් ගැනීමට මිනිසෙකුට මහලොකු විද්වත්  මනසක් තිබීම  අත්‍යවශ්‍ය කාරණාවක් නොවේ.  මෙය  වියත්මග  විද්වතුන්ගේ මොලේ තරම පෙන්නුම් කළ එක් අවස්ථාවක් පමණි. 

 ඉන්පසුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ  අදාල රැකියා ලාභීන්ට  නිවසේ සිටියදීම රුපියල්  විසි දහසේ දීමනාව දීමට කටයුතු කරන බවයි.  එම දීමනාව ගෙවූ බවට  මෙරට මහ බැංකු වාර්තා  වේද  සඳහන් විණි.  නමුත්  මෙම සටහන තබන අවස්ථාව දක්වා කිසිදු  උපාධිධාරියෙකුට හෝ ඩිප්ලෝමාධාරි යෙකුට  මෙම රැකියා දීම වැඩසටහනට  යටතේ කිසිදු ගෙවීමක් සිදුකර  නොමැත.  එමෙන්ම  covid 19  වසංගතය නිසා රට වසා දැමුණු මාස කීපය තුළ රජය විසින් මෙරට පවුල් වලට ගෙවනු ලැබූ  රුපියල් පන්දහසේ දීමනාවද එම උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන්ට අහිමි වී ගියේය . වියත්මග වියතුන් ඡන්දයට පෙර මෙරට ජනතාවට පෙන්වා දුන් සැලසුම් වලට අනුව නම් මෙවැනි වූ  වැරදිම්  මෙරට භූමිය තුළ කිසිසේත්ම සිදු වීමට ඉඩක් නොමැත.   වඩාත් හාස්‍යයට ලක් වන කාරණාව වනුයේ වියත්මග මෙවැනි කාරණා ඉදිරියේ තම මුනිවත රැකීමයි .

 කෙසේ හෝ මහ මැතිවරණයෙන්ද තුනෙන් දෙකකට ආසන්න බලයක් ලබාගෙන ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරනු ලබන්නේ වියත්මග සාමාජිකයන් කිහිප දෙනෙකු ද පාර්ලිමේන්තුවට කැන්දාගෙන එන ගමන්ය .  පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු  රැකියා ලබාදීම සඳහා තෝරා ගත්තා යයි සඳහන් අයගේ නම් ලයිස්තුවක් නැවතත් ජය විසින් ප්‍රකාශයට පත් කරන්නේ මාර්තු මාසෙදි ලබාදුන් සියලුම පත්කිරීම් අවලංගු කරමිනි. 

නව ලයිස්තුවට  අනුව උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් 51135  රැකියා ලබා ගැනීමට සුදුසුකම් ලැබූ අතර තවත් බොහෝ පිරිසක් නුසුදුසුකම් ලැබුවේ ඔවුන් මීට පෙර විවිධ රැකියාවන්හි නිරතව EPF දායකත්වය ලැබු නිසා සහ දැනටමත් රැකියාවන්හි නිරතවනවා යන පදනම මතය.  මීට අමතරව විදේශ උපාධිධාරී පිරිස් සහ වයස අවුරුදු 45  ඉක්මවූ අයද ප්‍රතික්සේප ලයිස්තුව සිටිති.

 මෙහි වඩාත්ම හාස්‍යයට  පත්වන කාරණය වන්නේ විධ රැකියාවන්හි නිරතව EPF දායකත්වය  ලබා තිබීම සහ දැනට රැකියාවක නිරත වීම රජයේ රැකියාවක් ලබා ගැනීමට නුසුදුසුකමක් ලෙසට  සැලකීම යන  කාරණාවයි. 

 කිසියම් හෝ වෘත්තීය  අත්දැකීමක් සහිතව  රජයේ රැකියාවකට පුද්ගලයකු පැමිණේ නම් එය සෑම අතින්ම රජයට වාසිදායකය .     අනෙත් අතට  රජයේ  මෙම තීරණය  මින් ඉදිරියට  ඊපීඑෆ් අරමුදලට  දායකත්වය සැපයීමෙ  ජනතාවගේ උනන්දුව උදාසීන කිරීමට ප්‍රබල හේතුවකි .   කලින් පැවති රජයන් ගණනාවක්  යටතේ  උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන්හට   රැකියා ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබුවත් මෙවන් වූ කොන්දේසි පැනවීමක් සිදු කෙරුණේ නැත.  මෙවන් වූ තීරණ ගැනීම සඳහා උපදෙස් ලබා දෙන වියතුන් කවුරුන්ද යන්න දැනගැනීමට අපද කැමතිය . එවැනි වියතුන්ගෙන් දිගින් දිගටම උපදෙස් ලබාගැනීමට කටයුතු කළහොත් ගෝඨාගේ රාජපක්ෂ ජනාධිපතිවරයාට  ඉදිරි ගමනක් නොමැති බව නම් මෙහි දී සඳහන් කළ යුතුමය. 

 පසුගියදා  ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා නව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින්  EPF  සහ  රැකියා කිරීම් යන පදනම යටතේ ප්‍රතික්ෂේප වූ උපාධිධාරීන් දසදහසකටද  රැකියා ලබාදීමට අනුමැතිය ලබා ගත් අතර  රජය ප්‍රකාශ කර සිටියේ නැවතත් ප්‍රතික්ෂේප උපාධිධාරීන් ඒ සඳහා ප්‍රදේශීය ලේකම් කාර්යාල හා අභියාචනා ඉදිරිපත් කළ යුතු බවටයි .  මෙහිදී රජය අමතක කර ඇති කාරණය  වන්නේ EPF  සහ  රැකියා කිරීම් යන පදනම යටතේ ප්‍රතික්ෂේප වූ උපාධිධාරීන්ගේ  ලයිස්තුවක්  තමන් සතුව පවතින බවයි .  එවැනි ලයිස්තුවක් තමන් සතුව තබාගෙන  නැවතත් අභියාචනා ඉදිරිපත්  කරන ලෙසට ඉල්ලා සිටීම සහ   අනවශ්‍ය කාලයක් සහ  ධනයක් ඒ වෙනුවෙන් වැය කිරීම  පුදුම සහගත කාරණාවකි .  වියතුන්ගෙන් පෝෂණය වූ  මේවැනි ආණ්ඩුවකින්  ජනතාව කිසිසේත්ම මෙවන් වූ තීරණ අපේක්ෂා නොකරයි.  එසේම අභියාචනා ඉදිරිපත් කරන උපාධිධාරීන් නැවත සේවයේ පිහිටු වන දිනයක් ්‍රකාශයට පත් කිරීමට ද රජය අපොහොසත් වී ඇත.

 තෝරාගත් උපාධිධාරින්හට පුහුණු වැඩසටහනක්  දිවයිනේ විවිධ ප්‍රදේශවල  සංවිධානය කිරීමට ආණ්ඩුව කටයුතු කර තිබේ.  බඳවාගත් උපාධිධාරීන්  නිශ්චිත විෂය ක්ෂේත්‍රයකට  අනුයුක්ත කිරීමෙන් පසුව  එම විෂය සමගාමිව  යම්  පුහුණු වැඩසටහනක් සිදුකිරීම වඩාත් සාර්ථක හා ඵලදායී ක්‍රමය වේ.  දැනට සිදු කරනු ලබන පුහුණු වැඩසටහන් තුළින් මහා ලොකු ප්‍රගතියක් අත්පත් කර ගැනීමට නොහැකි අතර එමගින් සිදු වන්නේ මිනිසුන්ගේ වටිනා කාලය අනවශ්‍ය ලෙස අපතේ යැවීමක් සහ රජයේ මුදල් අනවශ්‍ය ලෙස වියදම් කිරීමක් පමණි.  විශේෂයෙන්ම රට ආර්ථික අර්බුදයක පවතින අවස්ථාවක ෙවැනි වූ අනවශ්‍ය වියදම් කිසිසේත්ම අනුමත කළ නොහැක. 

 එමෙන්ම  බඳවාගත් උපාධිධාරීන් ට  තම ගම් ප්‍රදේශ තුළම  සේවය කිරීමට පහසුකම් සලසා දීම අගය කළ යුතු කාරණාවකි. 

 සමස්තයක් වශයෙන් ගත් කල  පසුගිය ආණ්ඩුවලට වඩා උපාධිධාරීන්ගේ   රැකියා ප්‍රශ්නයට  විසඳුම් ලබාදීමට කටයුතු  කිරීමේදී  මෙම ආණ්ඩුව  වැඩේ අනා ගත් බවක් දක්නට ලැබේ.  රැකියා ලබාදී බැනුම් අසා ගැනීමට ද ආණ්ඩුවට සිදු ව පවතී.  එසේ සිදුව ඇත්තේ  ආණ්ඩුව  ප්‍රායෝගික තලයක නොසිට කටයුතු කිරීමයි .  කෙසේ වෙතත් පැවති සහ පවතින ආණ්ඩු සියල්ලම  උපාධිධාරීන්ට රැකියා ලබා දීම  යන කාරණාවේදී  අසාර්ථක බව කිව යුතුමය .  විශේෂයෙන්ම වියත් මග වැනි සංවිධාන දායකත්වය ලැබෙන වත්මන් ආණ්ඩුව ද මෙම ප්‍රශ්නය හමුවේ ඇණ ගැනීම දෛවෝපගත සිද්ධියකි. 

විසි වෙනි විවස්ථා සංශෝධනය ඉදිරිපත් කිරීමට ගොස් ආණ්ඩුව සිටින්නේ අමාරු තලයකය,  දිනෙන් දින මෙරට වන විනාශය ඉතිහාසයේ කිසිදු දිනක සිදු නොවූ ආකාරයෙන් වර්ධනය වී ඇත,  ආර්ථික වර්ධන අනුපාතිකය   සෘණ අගයක් ගෙන ඇත,   මරණ දඩුවමට  නියමවූවන් පාර්ලිමේන්තුව නියෝජනය කරමින්  ඇත,  රැකියා විරහිත උපාධිධාරීන්ට  රැකියා ලබා දීමේ වැඩ පිලිවෙල  අවුල් ජාලාවක් බවට පත්ව ඇත,  නමුත් වියත්මග නියමුවෝ තවමත් ආණ්ඩුව තුළ සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වටා   රොක් වී  සිටිනු දැක ගත හැක . ජනතාව බලාපොරොත්තු වූ ලෙසට  ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට   උපදෙස්  ලබා  දෙනු ලබන්නේන්නේ වියත්මග සංවිධානය නම්  අවසන් වරට අපට කීමට ඇත්තේ  උපාධිධාරීන්  පුහුණු කරනවා වෙනුවට  වියත්මග සංවිධානයේ නියෝජිතයන්  පුහුණු කිරීම වඩාත් කාලෝචිත බවයි.

   මම  එදිරි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here