ජනපදේ අක්කර දෙකේ හිමි සහතිකේ මගේ නැති වුනා
ලේඛනේ පිටපතක් ගන්නට ඔෆීසිය ළඟ නැවතුනා
සිප්හලේ සිට බිඳුනු සෙනෙහස ඉහළ අසුනේ වැජඹුනා
ඔප්පුවේ පිටපතේ අත්සන හැඳින ගන්නට බැරි උනා
හිත් බිඳී ඔබ මගෙන් දුර ගොස් දොළොස් වසරක් පහු උනා
සිප් නැවේ ගොස් සප්ත සයුරේ ඈත දියඹේ නොපෙනුනා
එගොඩ වන්නට නොහැකිවූ මා කටුරොදේ දුක පැටලුනා
ලියමනේ නැති වුන සෙනේ ළඟ කැලෑ මල් පෙති විසිරුනා
උපැස් යුවළට යටින් දෙනෙතේ බැරෑරුම් බව මතු වුනා
තෙජස් බව රැඳි නිවන ජන දුක පෝලිමේ හිඳ දිස්වු නා
දං පඳුර යට දිනක් ඇවිලුනු පිරුණු නෙත් යුග සිහිවුනා
මගේ ආදර උප දිසාපති හැඳින ගන්නට බැරිඋනා
බලා සිටියා ඉඳිකඩට වී එන තුරා නුඹ පෙර දිනේ
මිරිගු දිය ඈතටම ඇදුනා මගේ හිත ඔහු ගත් දිනේ
ගලා ගිය හැටි සෙනේ දියවර තුරු ලතා සිප පෙර දිනේ
එදා සිඳුනා වියළි කතරේ පිටගමට ගිය මගෙ සෙනේ
වියලි කතරේ නිසරු පොලොවේ මහමෙරක දුක ඉහිලුනා
නියං සායේ දැවුනු හේනේ කඳුළු පොකුරෙන් පීදුනා
පියළි අතරේ නැගෙන අංකුර සොයා සිත් මල වෙහෙසුනා
පුරං කුඹුරේ කොහෙද අස්වනු කියා හදවත බර වුනා
දුකට හුරු වුන අහස් කුස ඇති සරා සඳ තනියටම උන්නා
ගෙපැල වහළේ විසුළ සිදුරෙන් කළාලේ දුක ළඟට ගන්නා
මතක මහළට ඇවිත් දවසක් ඔබේ පෙර සිත බලා උන්නා
නෙතට වැහි කැට වැටී සිරවුනු ඉවුරු සිඳ බිඳ දරා උන්නා
අරුමයකි පෙර දවස මහ රෑ මගේ ළමැදේ වැතිර උන්නේ
සිහිනයකි සුව පවස නිවමින් රහසේ නුඹ මා ළඟම උන්නේ
කරුමයකි විෂ බමර තුඩගින් සිහින එළි කර දුරට යන්නේ
පුදුමයකි පෙර බැඳුනු හදවත් හමුවෙලාවත් නොදැක ඉන්නේ
පවර තෙදබල වොරඳ මැති සඳ මගේ ඇහිපිය ළඟම දැකලා
එවර සවිබල බිඳී ආපසු හැරී ආපසු ගියෙමි හැරිලා
ගිලුනු දෑසග රැඳුනු පිනි මුතු දිය කලා සළුපටින් වසලා
සැලුනු හද දොර කවුළු වැසුවෙමි ඔහුගේ දෑසට වසන් කරලා