“දම් පාටින් ලා සද බැස යනවා” ගීතයට විචාරයක්

0
329
Sri-Lanka-news-today-1

“ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත”නැමැති ආප්තය තමන්ට අදාළ නොවන බව පසක් කරමින් සිංහල කලා කෙත නන් අයුරින් අස්වද්දන ලද ‘ ලූෂන් බුලත් සිංහල ‘ නම් වූ සොඳුරු ගේය පද රචකයා විසින් අපූරු ගී මිණක් රචනා කරනවා..ඒ අපූරු ගී මිණ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්තාවෙන් විකාශනය කෙරෙන්නේ සුභාවිත ගීත කාලාව තුළ අපූරු හඩ පෞරුෂයෙන්  ස්වකීය අනන්‍යතාවය තහවුරු කළ ‘ ගුණදාස කපුගේ සහ මාලිනී බුලත් සිංහල ‘ යන ගායක ගායිකාවන්ගේ මධුර ස්වරයෙනි.පද මාලාවේ අපූර්වත්වයත් ඔස්ටින් මුණසිංහයන්ගේ ස්වර රචනාවත් තුළ ඇති අසම සම බව නිසාවෙන් මෙම ගී මිණ අදටත් ශ්‍රාවක යුග සවන් පත් වැළඳ ගනිමින් පවතිනවා .යුග යුග ගණන් ගෙවී ගියද එහි රසය අබමල් රේණුවක තරම් වත් අඩුවක් වී නැත්තා සේය.

                        ගේය පද රචකයා ගීයට වස්තු කර ගන්නේ ස්ත්‍රී පුරුෂ හොර හමුවක ප්‍රේමාවනද්ධ භාවයයි.හොර හමුවක් සෑම විටෙකම සුන්දර යයි කියනු ලැබේ.හොර හමු සුන්දර වන්නේ එළිපිට ගොඩ නැගෙන බැදීම් ඒ තරමටම අසුන්දර වන නිසාය.භාරතීය බ්‍රාහ්මණ සංස්කෘතියේ ඇතැම් අවතාර බියකරු සෙවනැලි ශ්‍රීලාංකික  විවාහ බන්ධන වලට එබිකම් කරන බව බලපෑම් කරන බව නොරහසකි .කුලමල ,වස්තු දේපල ,උඩරට පහතරට බේද,ආගම්,ජනවාර්ගික ,දෑවැදි ආදී නොයෙකුත් කුණු කන්දල් විසින් කරනු ලබන මහා බලපෑම් වලට යටත්ව සිදුවන බොහෝ ලාංකීය විවාහයන් තුළ ඇත්තේ කුණුම කුණු අමුම අමු ගණුදෙනුවකි.මේ ගණුදෙනුවේ ස්වභාවය සති අග පුවත්පත් වල පලවන මංගල යෝජනා තීරය විමසූ කල්හි දළ අවබෝධයක් ලබා ගත හැකිය.එහි තව දුරටත් ප්‍රේමය,සෙනෙහස ,ආදරය නැත.බොහෝවිට විවාහය සිදු වී ඇත්තේද තරුණ යුවලගේ කැමැත්ත මත නොව පරම්පරගත අදෘශ්‍යමාන බලවේග කැමැත්ත මතය.එවැනි විවාහ සබදතා නැමැති අට්ටාල ඉතා ඉක්මනින්ම සුණු විසුණු වී බිමට සමතලා වේ.විවාහය දෙදරා යයි.සෙනෙහස අහිමි වේ.සැකය අවිශ්වාසය මාරයන් සේ නැගී සිටී.සෙනෙහස වෙනත් පාර්ශවයකගෙන් සොයා යෙයි.එවැනි තත්ත්වයක් තුළ හොර හමු ගොඩ නැගේ.එවැනි හොර හමුවක යට කියන ලද රාක්ෂයෝ,අදෘශ්‍යමාන බලවේගයෝ නොවෙති.එහෙයින්  හොර හමු තුළ සත්‍ය ප්‍රේමය ඇතැයි පැවසේ….

                                   හොරෙන් හමු වන්නේ එළිපිට හමුවිය නොහැකි නිසාය.එසේ වන්නේ අප වසන සමාජය අවසරණීය සමාජයක් නොව අනවසරණීය සමාජයක් වන නිසාය.

එහි ප්‍රසිද්ධියේ ස්ත්‍රී පුරුෂ සම්පර්කය තහනම් ය.කවරෙක් කවර තැනෙක උකුසු ඇස් යොමා සිටීදැයි සැක සහිතය.එවැන්නක ඉවක් දැනුනොත්,සියල්ල පොඩි පට්ටම් වී සුනුවිසුණු වී යයි .පද හැදෙයි,ඕපදූප දූප විදුලි කොටයි.කට කතා වේගයෙන් පැතිරෙයි.චරිත ඝාතනය කෙරෙයි.පවුල් විරසක වෙයි.ඇතැම් විටෙක මනුශ්‍ය ඝාතන වලින් සියල්ල හමාර වන්නේ සදාකාලික දුකක් ඉතිරි කරමිනි.මේ මෙසේ උවත් හොර හමු ගොඩ නැගෙන්නේ එහි සුන්දර බව හා ආස්වාද ජනක බව නිසාය.පෙම්වතුන් පෙම්වතියන් දහසක් කඩුලු මතින් පැන ගොස් සමාජයට වහන් වී හමුවන්නේ මේ නිසාය.මේ ගීතය තුළත් එවැනි හොර හමුවක අවසන් හෝරාව ප්‍රකාශිතය .

දම් පාටින් ලා සද බැස යනවා

ආකාසේ රන්වන් පාටයි

සමුගෙන යන්න මගෙන් තව මොහොතයි

නොදොඩා ඉන්නේ ඇයි ……

                                සාමාන්‍යයෙන් පෙම්වතුන් උයන් තෙරින්,සයුරු ඉමෙන්,රගහලෙන් ඔවුනොවුන්ට සමුදෙන්නේ හිරු අවරට යන හෝරාවේදීය.එහෙත් මෙහි පෙම්වතුන් ඔවුනොවුන්ට සමුදෙන්නේ සද අවරට යන හෝරාවේදීය .අවරගිරින් සද බැස යන හෙයින් එහි දම් පැහැය ප්‍රකාශ වේ.රන්වන් පැහැය ලැබී ඇත්තේ පෙරඹර අහසටය.ඒ හිරු නැග ඒමට ආසන්න හෙයිනි..හිරු නැගෙනවිට අහස රන්වන් පැහැය ගනී.නොබෝ වේලාවකින් හිරු නැගෙන නිසා මේ හොර හමුවට තව බොහෝ ආයුෂ නැත.එය මොහොතකින් හමාර කළ යුතුය.එසේ නොවුවහොත් සිදුවිය හැකි නස්පැත්තිය ඉහත ප්‍රකාශිතය .හොර හමුව හමාරවීමට ආසන්න මේ මොහොතේ පෙම්වතා මුනිවත රකී.ඒ ගොළුවත පෙම්වතියට මහත් වේදනාවකි.

දම්පාටින් සද මුහුණ පෙනෙනවා

වෙන් වී යන මොහොතක් නෑගේ

දෑසට ළංව තවත් මේ මොහොතේ

ගොළු වී ඉන්නෙමි මං

                                බැස යන සදේ පෙම්වතා පෙම්වතියගේ මුහුණ දකී.එය සෝ බරය.වේදනාවෙන් මිරිකී ඇත.වෙන් වන මොහොත අත ළගය.හදතුළ උපන් ශෝක භාවයෝ වචන වලට පෙරළන්නට ඔහුට ශක්තියක් නැත.ඒ සදහා ඔහු මුව විවර නොවේ.එහෙයින් ඔහු තව තවත් ඇයට තුරුළු වේ.

සෙවනැලි නොමැකේ නම්

එළිය කළු නොවේ නම්

බිත්ති පුරා ඔබෙ සෙවනැලි ඇන්දේ

තනිය මකා ගන්නයි

එනතුරු සොයා මගේ සෙනෙහස මතු දා

                    බිත්ති පුරා විහිදුණු ඔහුගේ සෙවනැලි නොමැකේ නම්,ආලෝකය මැඩ ගෙන අන්ධකාරය නොඑන්නේ නම්,යළිත් ඔහු එන තුරු තම තනිය මැකෙන්නේ යයි ඇය කියන්නී වියෝගයෙන් හට ගන්නා අදුරු ශෝක වේදනා පරිදාහය නිසා නොවේද?

රෑ කල දිගු වේ නම්

ලා සද නොමැකේ නම්

නෙළුම් පතක රැදී පිනි බිදුවක් සේ

ළමැද තළා යහනේ ඉන්නම්

පමාවෙලා හිරු නැගෙන  තුරා…

                             සද නොබැස,හිරු උදා නොවී රෑ කාලය දීර්ග වන්නේ නම් මැනව්.තව තවත් පමාවෙලා හිරු නැගෙන්නේනම් කෙතරම් වටින්නේ දැයි පෙම්වතා පවසයි .එසේ වන්නේ නම් තව තවත් ඇයගේ තුරුළට වී ළමැදෙහි හිස  හොවා සිටින්නට තිබුණේ නොවේදැයි ඔහු පවසයි .එහෙත් ඒ සිතිව්ල්ල,

ප්‍රකාශය,තුරුළුව සිටීම නෙළුම් කොළයක පිනි බින්දුවක් රැදී සිටීම වැන්න.එහි ඇත්තේ උපමාවකි.හිරු නැගෙනවිට පිනි බින්දු අභාවප්‍රාප්ත වනවා යයි නොදන්නේ කවුරුත් ද.හිරු පායාවිත් අදුරු රෙද්ද ඉරා දමනවිට හොර හමු හෙළි වේ.එසේ වුවහොත් ඇතිවිය හැකි විනාශයයේ තරම ඉහතදී පැවසුවෙමි. .එහෙයින් හිරු උදා වන්නට පෙර මේ හමුව හමාරවිය යුතු නොවේද…

                           ලාංකීය සමාජ ක්‍රමයේ මානව බන්ධුතාවයන්ගේ ස්වරූපය තීරණය කරන්න ට සමාජ,ආර්තික ,දේශපාලනික බලවේග ක්‍රියාත්මක වන අයුරු පිළිබදව විමසන්නට මෙන් රච්ත අගනා ගී මිණක් නොවේ ද මෙය..ශෝකී භාවය ඉපදීමෙන් කරුණා රසය ශ්‍රාවක සිත් තුළ මින් ගොඩ නැගේ.

විපුල්  රනේපුර

මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here