“තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම් පත” ගීතයට විචාරයක්

0
76
Love-letter

ජංගම දුරකතනය ගැටවර ගැටවරියන් අතට එන්න කලින් අනූව දශකයේ අග භාගය වන තෙක්ම තරුණ හදවත් තුළ උපන් ආදර හැඟීම් බෙදා හදා ගන්නට,ආදරය ප්‍රකාශ කරන්න ,ගොඩ නැගුණු ආදර අන්දර පවත්වා ගෙන යන්නට බෙහෙවින් උපකාරී උනේ ලිපි එහෙම නැතිනම් ලියුමයි.එනිසා විසි එක්වැනි සියවස ආරම්භයට පෙර පෙම්වතුන් සිය පෙම් හැඟුම් එකිනෙකාට බෙදා ගන්නට භාවිතා කළ ඉතාම ජන්ප්‍රිය මාධ්‍යය වී පැවතියේ මේ ලිපිය නැමැති මාධ්‍යයි.ලව් ලෙටර්,පෙම් හසුන්,පෙම්පත්,ආදර හසුන් ආදී නොයෙකුත් නම් මේ සඳහා භාවිතා උණා.

මේ කියන කාල සීමාව තුළ ප්‍රේම සබඳතා ගොඩ නගාගෙන ප්‍රේමයේ රසමුසු තැන් සංස්පර්ශනය කරපු දැන් වැඩිහිටි වියට පත් වෙලා ඉන්න බොහෝ අයට ඒ සුන්දර මතක අතීතය සිනමා පටයක් වගේ මනස් කුහර තුළ නිරායා සයෙන්ම මැවි මැවී පෙනෙන්න ඕන.තරුණ සිත් තුළ උපන් ප්‍රේමය අනිකාට කියන්නත් ගොඩ නගා ගන්නා ලද ප්‍රේමය බිඳ නොවැටී නඩත්තු කරගෙන යන්නත් පෙම් හසුන් දෙන ලද්දේ අසීමිත සහයෝගයක් .

ඒ අනුව ජංගම දුරකතනයට ඒ වගකීම බාර වෙන්නට පෙර ලිපි මගින් ආදර අන්දර ගොඩ නගපු අවසාන පරම්පරාව අපි වෙන්න ඕන.  පෙම් හසුන් ගොඩක් අය අතින් ලියවුනේ පාසල් සමයේදී යයි කිවහොත් එය මුසාවාදයක් නෙවෙයි .ගොඩක් දෙනා එහෙම තමයි .කොහොම වෙතත් ඒ කාලේ ගොඩක් වෙලාවට ආදරය මුලින්ම ප්‍රකාශය කරන්නේ කොල්ලෙක් තමයි .ඒක වෙනස් වෙච්ච අවස්තා නැතිවා නෙවෙයි .ඒත් බොහෝ වෙලාවට ඒ ප්‍රකාශය කරන්නේ පිරිමි ළමයෙක් .පුරුෂ ශක්තිය කියලා එකක් තිබුණාට මොකද හිතේ පැලපදියම් වෙලා හිතට ආතුර වෙච්ච යුවතිය ඉදිරියට ගිහිල්ලා එයාගෙ ඇස් දෙක දිහා බලාගෙන මම ඔයාට ආදරේ කියලා කටක් ඇරලා කියන්න තරම් හයියක් නම් ගොඩක් උන්ට තිබුණේ නෑ.

පාසලේ උදේ රැස්වීමේ බය නැතිව කතා කරන විවාද කණ්ඩායම් වලදී අති දක්ෂව විවාද කරන,බොහෝ අයියලා නංගිලාගෙ මූණ දිහා බලාගෙන ,ඒ නටන නලියන ඇස් දිහා බලාගෙන “මම ඔයාට අදරෙයි නංගී” කියලා කියා ගන්න බැරිව මොනතරම් ඇඹරිලා ඇත්ද ඔන්න ඔහොම ඔය විදියට කොඳු ඇට පෙළ කෙළින් හිටවලා ආදරය ප්‍රකාශ කරන්න බැරි උණාම ලියුම තමයි පිහිටවෙන්නෙ.ආදරය ප්‍රකාශය කරලා,ආදරය ඉල්ලලා ලිවුමක් ලියන එකත් ලේසි පාසු වැඩක් නෙවෙයි .ඒක ගොඩක් පරිස්සමෙන් ,සැලකිල්ලෙන් ,ආරක්ෂා කාරීව ලියන්න ඕනී .ගොඩක් වෙලාවට ලිවුම ලියන්න තෝරා ගන්නා වෙලාව උනේ රාත්‍රි කාලය.ගෙදර උදවියට සැක ඇති නොවෙන්න පාඩම් කරනවාය යන සිතිවිල්ල ඒ අයට ඇති වෙන විදියට රංඟනයක යෙදෙන අතරේ තමයි ඉතින් ලියුම ලියන්නේ .

ලියුම ආවාට ගියාට ලියන්න බෑ.ලියන ලියුම ඇය අතට පත් වෙලා ඒක ඇය කියවාගෙන යද්දී ඇයට ඔහු ඉල්ලන ආදරේ ප්‍රතික්ෂේප කරන්න හිතෙන්නේ නැති තරමට ලියන්න වග බලා ගන්න ඕන. හදවත පතුලේ උපන් ආදර කැක්කුම ගලන උණුසුම් රුධිරය සමග එකතු වෙලා දකුණු අතේ අතඟිලි වලට එකතු කරගෙන ඇඟිලි තුඩු වලින් හිරකරගෙන ඉන්න පෑනෙන් ලියුම් කඩදාසියක අකුරු බවට පත් කරද්දී ඇති වෙන හැඟීම මහ අමුතුම එකක් . ඒක පෙම් හසුන් ලියපු උන් දන්නවා .

හැඩට රහට ලස්සනට ලියන්න ඕනී .ඒ නිසා ආරම්භයේදී ලියන වචනයේ ඉඳලා අවසන් වචනය තෙක්ම එක හුස්මට කියවාගෙන ගිහිල්ලා ඒ පපු කැනැත්ත තුළ භාව ප්‍රකම්පන ඇති කරලා හිරු එළිය හොයාගෙන හිරු දෙසට නැවෙන සූරියකාන්ත මලක් වගේ ඇය තමන් වෙතට නම්මවා ගන්න පුළුවන් වෙන විදියට ලියන්න ඕන.

               “වේවා ශාන්ති නොවේවා කේන්ති ,මට මුළු ලොවම ඔබයි,මට වාසනා ඔබ මට වාසනා ,සසර සැරිසරන තෙක් ඔබ මගේ, ජීවිතය ඔබයි මගේ” ඔන්න ඔය වගේ සින්දු කෑල්ලක් මුලට දාගෙන ලියන්න පටන් ගන්නවා .

විද්‍යාව ,සිංහල ,ඉතිහාසය වගේ පාඩම් නෝට්ස් ලියද්දී නොසැලකිල්ලෙන් අකුරු ලියන උන් මේ පෙම්පත් ලිවුවෙ ගොඩක් සැලකිලිමත් වෙලා .ලියන අකුරු ටික පිරිසිදුව පිළිවෙලකට ලස්සනට වටකුරුවට ලියන්න මහන්සි ගත්තා .මොකද මිනිහා දන්නවා මේ ලියන ලිපිය උඩ තමයි සියල්ල තීරණය වෙන්නෙ කියලා . “මළු ලොවම නිදිගත් සඳපායා පිනිබින්ඳු වැටෙනා නිහඬ සීතල රාත්‍රියේ නුඹට ලියමි”.

ඔන්න ඔය විදියට ලියන්න පටන් ගන්නා ලියුම ලියලා අවසන් කරලා හරි වැරැදි බලන්නේ තුන් හතර වතාවක්ම කියවලා . සමහර වෙලාවට ලියන්නේ පළමු වතාවට නම් ඇය අතට පත් වන්නේ පළමුව ලියන ලියුම නෙවෙයි .දෙක තුනක් ලියලා ඒව හිතට හරි මදියි කියලා දැනෙනකොට ඒව ඉරලා අලුතින් ආයෙත් එකක් ලියලා තමයි ඇය අතට ලිපියක් ලැබෙන්න සලස්වන්නේ. ඒ ලිවුමේ ලස්සන රෝස මල් පොකුරක් ,කුරුලු ජෝඩුවක්,සමනළ ජෝඩුවක් අඳින්නත් සමහර කොල්ලො මහන්සි වෙනවා.මේවා ඔක්කොම ස්වයං නිර්මාණ විදියට තමයි එළියට එන්නේ.ඒක හරියටම කපා ඔප මට්ටම් කරපු හරවන හරවන අතට දිස්නෙ දෙන අටපට්ටම් හැඩැති මැණිකක් වගේ තමයි.

ලියපු ලියුම  පරිස්සමට නවල සුරැකිව තියාගෙන ගොඩක් ම විශ්වාස යහළුවෙක් හෝ යෙහෙළියක් අතේ හෝ අදාළ තැනැත්තිය වෙත ලැබෙන්න සලස්වනවා..

ගොඩක් වෙලාවට මේ උදව්ව ඉල්ලන්නේ යෙහෙළියකගෙන්…..

ලිපිය ඇය අතට පත් කරලා ඊට පස්සෙ ඉතිං නොයිවසිල්ලෙන් බලා ගෙන ඉන්නේ ඇයගෙන් පිළිතුරු ලිපියක් ලැබෙන තෙක්.ගතවෙන හැම තත්පරයක්ම කල්පයක් වගේ දැනෙනවා .පිළිතුරු ලිපියක් ලැබෙන්න ගොඩක් දවසක් යනවා .සමහර විට සතියක් දෙකක් ඊටත් වැඩි වෙන්න පුළුවන් .කොල්ලෙක් ලියුමක් ලියනවා වගේ ඉක්මනින් කෙල්ලෙකුට ලියන්න බෑ..අයියා අක්කා ,අම්මා තාත්තා ..මේ අයගෙන් කවුරු හෝ මොන මොහොතේ කඩා පාත් වේවිදැයි කියන්නට බැරිය.අහු උනොත් සියල්ල සුනේ සුන්ය.මේ වැට කඩොලු පැනගෙන ලියන්න ඕන නිසා පිළිතුරු ලිපියක් බොහෝ සෙයින් ප්‍රමාද වෙනවා.

බොහොම අමාරුවෙන් ලියපු ලියුම රැගෙන එන්නේ පාසලට නම්,එය අදාල පුද්ගලයා අතට පත් කරනතුරු බොහොම අවදානම් සහගතයි .පාසලේ විනය බාර ආචාර්ය වරුන් සිසුන්ගේ පොත්පත් බෑග් උන් හිටි ගමන් පරීක්ෂා කරන්නේ පෙම් හසුන් සොයා බැලීමේ පරමාර්ථය ඇතිවමයි. ඒ නිසා මේ හදිසි ප්‍රහාරක බල ඇණියේ ක්‍රියාන්විත-යෙන් මේ ලිපිය බේරා තබාගත යුතු වෙනවා.

අතපසුවීමකින් හෝ එය අසු උවහොත් ඉතින් ඉඳලා වැඩක් නැත.චරිත ඝාතනය කෙරේ,කට කතා පැතිරෙයි ,පෞරුෂය වනසා දැමෙයි . සමහරවිට පාසල් ගමන නතර වන්නට හෝ වෙනත් පාසලකට මාරු වී යන්නට හෝ එම ලිපිය දරුණු වන්නට පුළුවන් .  මේ සියලුම බාධක මැඩගෙන පිළිතුරු ලිපිය තරුණයා අතට පත් උණාම ඔහුගේ හිසේ මලක් නෙවෙයි මල් පොකුරක් පිපිලාය.එහෙම වෙන්නෙ ඉතින් ඒ ආදරය ඇය පිළි අරගෙන තිබුණෝතින් විතරයි .ආදරය පිළි අරගෙන එවන ලද පිළිතුරු ලිපියක් නම් ඒක හත් අට වතාවක්ම කියවනවා.කියවලා ඒක වීසි කරන්නේ නෑ .

පුළුස්සනේ නෑ.ආදරෙන් ඇඟිලි තුඩු වලින් ලිපිය පිරිමැදල ඒක ඉඹල ලිපිය මැදට සුවඳ පවුඩර් ටිකක් හළල නවල බොහොම ආරක්ෂි තව සඟවා තබනවා.හරියටම කිවුවොත් ඉතා වටිනා දේපලක ඔප්පු තිරප්පු හංගලා තබනවා වගේ.ගම්පෙරළියේ නන්දා උනත් පියල් විසින් දීපු ලියුම් වීසි කළේ අල්මාරිය අස්සටනේ.බොරු කියන්නේ මොකටද මීට දශක දෙකකට උඩදී ලැබුණු ලිපි කීපයක්  තවමත් සුරැකිව තියෙනවා .දැන් තේරෙනවා ඇති මේ අකුරු මොන තරම් ප්‍රභලද කියලා .

දැන් කොල්ලො කෙල්ලො යවන එවන සිංග්ලිෂ් මැසේජ් පල හෑලි වගේ නෙවෙයි ඒවා.  මේ ලිපි ලිවීමේ කෙරුවාව නිසා එක අතකින් අපේ ලිවීමේ කුසලතාවය වර්ධනය උණා.තවෙකෙකුට දැනෙන විදියට ලියන්න පුළුවන් උණා.පුංච් පුංචි නිර්මාණ කරන්නත් මේ තුළින් හැකියාව ලැබුණා .ඒ වගේම තමයි ඉවසීමත් පුරුදු උණේ.අද වගේ ඔන්ලයින් පණිවිඩ යවන්න මැසෙන්ජර් , වයිබර් ,ඉමෝ ,වට්සප් ඒ කාලේ නෑනේ . පිළිතුරු ලිපියක් එන්න ගොඩක් දවස් ගියා. ඒ ලිපිය එනකම් අපි ඉවසාගෙන ඉඳියා.ඔන් ලයින් ඇවිල්ලා මැසේජ් කරද්දී තත්පර ගානක් රිප්ලයි පරක්කු වෙනකොට මරා ගන්න වර්තමාන පෙම්වතුන්ට මේව අදහන්නත් අමාරු ඇති .ලස්සනට ලියන්න බැරි උන් වෙනුවෙන් අනුකම්පා කරල උන් ලියන විදියට ලිපි ලියලා දෙන්න කාරුණික වෙච්චි අයත් ඒ කාලේ ඉඳියා ..අදනම් මේ මොකුත්ම නෑ.

ආදර අන්දර වලදී අද ලිපි හුවමාරුව නෑ.කෝල් කළා,මැසේජ් කළා…ඒ අතරට වීඩියෝ කෝල් ගත්තා ,පොටෝ හුවමාරු කරගත්තා ..ඒ ඔක්කොම සමහරු බර අවි විදියට ගබඩා කර ගත්තා .එහෙම කළේ කිසියම් මොහොතක ආදරය බිඳ වැටුණ හොත් ඉදිරියේදි පෙම්වතියට පහර දෙන්න .අන්තර්ජාලය පරීක්ෂා කිරීමෙන් මේක හොඳින්ම තේරුම් ගන්න පුළුවන් .ඒවා සමහරවිට අකාලයේ තරුණ ජීවිත සියදිවි නසා ගැනීමේ තත්ත්වයට පත් කළා.මහා දරුණු ඛේදවාචක නිර්මාණය කළා .චරිත ඝාතනය කළා .මේ යට ගිය මතක අතීතය මේ විදියට මතක් උනේ වික්ටර් රත්නායකයන් ගායනා කරන “තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම්පත” නැමති ගීතය දෙසවනේ පැටලිලා ඒ ගීතයට වචනයක් ලියද්දී .මේ අනුව බලද්දී ආදර අන්දර වලදී පෙම් හසුන් ලියූ අවසන් පරම්පරාව අපි වෙන්න ඕනි…

තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම් පත

ඔබෙ සෙවණ පමණී මිහිපිට ඇති එකම  සම්පත.

කතක පෙම්වතාත් ඉහතින් කරන ලද පූර්විකාව බොහෝ සෙයින් සම්බන්ධ වූ අයෙක්.ඔහුත් තම සිත්ගත් තැනැත්තියකට පෙම්පතක් ලියනවා. ඒ ලියන්නේ “තරු අත් අකුරින්” එය රූපකාර්තවත් භාෂාවක් .තරු මිණි කැට මෙන් අහස් කුස අලංකාරවත් කරන අපූරු ආකාස වස්තු . නිවි නිවී දැල්වෙන තරු පොකුරු වලින් අලංකාරවත් අහස් ගැබ මොනතරම් සුන්දරදැයි අමුතුවෙන් කිව යුතු නොවේ.ලිපිය ලියන්නේ තරු අත් අකුරින් නම් ඒ පෙම්පත කෙතරම් අලංකාරවත් වන්නට හැකිද? ඔහු ලියන්නේ ඇයගෙ සිත් සන්තානය තුළ ප්‍රේමාවනද්ධ භාවයන් උද්දීපනය වෙන ආකාරයෙන් .

ඇයට ඔහු කෙරේ ලෝබ හිතක් ඇතිවෙන විදියට . මේ මොහොත වනවිට මිහිපිට නිර්මාණය වී ඇති භෞතික සම්පත් කොතෙක් වේද ඒ සියලුම දේ කතක පෙම්වතාට වැදගත් නෑ .ඒ සියල්ල පරයා ඔහුට වටිනවා ඇයගේ ප්‍රේමය ඇගෙ සෙවණ පමණක් ම මේ මිහිතලය මත ඔහුට වැදගත්ය.එසේ පැවසීමෙන් ඔහු ප්‍රේමය නිසා කෙතරම් උද්දාමයට පත්ව ඇත්දැයි නිගමනය කරන්න පුළුවන් .කවුරුත් හෝ තමන්ව වර්ණනා කරන්නේ නම් තමන්ට වටිනාකම් දෙන්නේ නම් ස්ත්‍රීහු ඊට දැඩි කැමැ ත්තක් දක්වනවා.කතක පෙම්වතා තමන්ට ලැබුණු හෝ බලාපොරොත්තු වෙන ප්‍රේමයෙන් ආතුරව සිටී.මේ ගීතයේ මුල් පාද ඇසෙත්ම ශ්‍රාවකයා මනසින් ක්ෂණිකවම සිය අතීතයට පලායන්නේ ඊ ගහක වේගයෙන්.

මඳ පවන මොටද ඔබේ සුවඳ මුසු වී  නැත්නම්

සඳකිරණ මොටද ඔබ මගෙ තනියට ළඟ නැත්නම්

හෙළි කරමි මගේ ළඟ ඇති ආදරයේ  වත්කම්

පැල්පතද මට හොඳයි මිහිරියෙ එක හිත  ඇත්නම්

                හමන පවන සිසිල්ය.ශරීර දාහය නිවාලයි.සිත්මල පුබුදු කරවයි.මල් මකරන්ද සුවඳ ඇදගෙන හමයි.සොබාදහමේ මේ අපූරු චමත්කාර නිමවුම කතකයාට වැදගත් වන්නේ හමන සුළඟේ ඇගේ ගැහැණු සුවඳ රැදී ඇත්නම් පමණයි.එසේ නොවන්නේ නම් හමන පවන ඔහුට වැදගත් නෑ .ඝර්ම කලාපීය වැසියන්ට කලා සොලොස සපිරි පූර්ණ චන්ද්‍රයා ඉතා වටිනා ආකාස වස්තුවකි. දිවා කාලයේදී දැඩි සූර්‍ය්ය තාපය ගත දැවටීම නිසා ඇතිව ගන්නා දැඩි ග්‍රීස්ම දාහය නිවා සනහාලමින් සන්ධ්‍යා භාගයේදී  පෙරදිග අහසින් පායා එන අපූරු ආකාස වස්තුවක් .ඒ සඳේ කිරණ ගෙනෙන්නේ අපූරු ආලෝකයක්.

වළාකුළින් මෑත් වී කඳුමුදුනින් මෝදු වී තුරු සිදුරු අතරින් ලෝබ නැතිව සඳරැස් ලෝබ නැතිව පොලෝ තලයට වැටෙන අයුරු අනන්තවත් දීප වාසින් දැක තියෙනවා .ඒ සඳේ ආලෝකය ,මිහිරි ආස්වාදය පෙම්වතාට දැනෙන්නේ ඇය ළග සිටින්නේ නම් පමණයි. මේ ව්‍යංගයෙන් පවසන්නේ සඳටත් වඩා ඇය ලස්සන උතුම් වටිනා ලියක් බව නොවේද?.

තමන්ගේ ආදරයේ තරම කෙතරම් දැයි කතකයා පවසන්නේ එසේය.ඒ කතක පෙම්වත් පපු කැනැත්ත තුළ ඇය වෙනුවෙන් උපන් බරසාර සරුසාර ආදරයේ තරමයි.ඇය තමන්ට ලැබෙන්නේ නම් එක සිතින් ආදරය බෙදා ගදා ගන්නවා නම් පැල්පත උවත් තමන්ට මාලිගාවක් යැයි කතකයා උදම් අනයි.

කල්ගෙවා දෙනෙත් නොපියා ඔබ ගැනම පිය  කතේ

කල්පනා කළ පමණ මට කල්පනාවක් නැතේ

ඇඳිරියද මැණික හඳුනන ඇස් දෙකක් මට ඇතේ

එනු මැනව් රස බලමු සෙවනක එකම පැල්  පතේ

          ප්‍රේමකීර්ති නම් අසහාය විශිෂ්ටතම ගේයපද රචකයාගේ අපූර්වත්වයෙන් යුත් වාග් විලාසය මැනවින් මෙහි දිග හැරෙනවා . කල්ගෙවාගෙන ඇහැපියන්නෙ නැතිව තුන් තිස් පැයේ නිදි වරාගෙන ඇය පිළිබදව ඔහු කල්පනා කරනවා.ආලයේ ලීලය දැනී හදවත් දලු සෙලවී ඉන් ආතුර වු විට බොහෝ දෙනාට නින්ද බොහෝ දුරබව බොහෝ දෙනා අත්දැකී මෙන් දන්නවා .ඊට ගැහැණු පිරිමි බේදයක් නෑ “පිය කත” යනුවෙන් ආමන්ත්‍රණය කරන්නේ සිය ප්‍රියාවියටයි.

සියලුම වැඩ අතහැරගෙන නිදි නොලබා ඇය පිළිබදව කෙතරම් කාලයක් කල්පනා කළේ දැයි කතක පෙම්වතාට නිච්චියක් නම් නැත. ඉන් ධ්වනිත කරන්නේ බොහෝ කාලයක් ඇය පිළිබදව කල්පනා කළ බැව් නොවේද? ඇය ගැන සිතූ බැව් නොවේද? කතක පෙම්වතාට හොඳම දේ හොඳින්ම හඳුනා ගන්නට පුළුවන් දෙනෙතක් හිමිය.ඇය ඔහුට අගනා වටිනා මාණික්‍යයක් .ඒ මැණික ඔහු දැන් ග්‍රහනය කරගෙන අවසන්.ඒ අනුව  මාණික්‍ය ප්‍රියාවියට ඔහු නිර්මල ආදරයේ දෑත් දිගු කරමින් ආරාධනා කරන්නේ එකම වහලක් යටට වී දුක සැප බෙදාගෙන ජීවන මිහිරියාව විඳගන්නට පැමිණෙන ලෙසයි.

ප්‍රේමයට කීර්තියක් බඳු ප්‍රේමකීර්ති ද අල්විස් ශූරීන් මේ ගී පද රචනා කර වික්ටර් රත්නායක යන් මෙම ගීයට අපූරු ස්වර රචනාවක් එක් කළා.ඔහු විසින්ම මෙම ගීයට සිය හඬ පෞරුෂය එක් කළා..මෙම ගීයත් අසුව දශක යෙන් රේඩියෝ සිලෝන් එකෙන් එහෙම නැත් නම් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් ශ්‍රාවක යුග සවන් පත් අතරට එකතු කළා.ප්‍රේමකීර්ති ශූරීන් අද ජීවතුන් අතර නෑ ..ඒත් මේ වගේ ගී පද රචනා දහස් ගණනක් නිසා ඔහු අදටත් ජීවමානයි….

විපුල් රණේපුර

මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here