කොවිඞ් මළ සිරුරු ආදාහනයට එරෙහි රිෂාඞ්ලාගේ පෙත්සම් ඉවත දමයි

0
77
Supreme court Sri Lanka

කොවිඞ්-19 වසංගතයට ගොදුරුවී මියයන සියලූම පුද්ගලයන්ගේ දේහයන් අනිවාර්යයෙන්ම ආදාහනය කළ යුතු බවට රෙගුලාසි පනවමින් සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් පසුගිය අපේ‍්‍රල් 11 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතා ඇතුළු පාර්ශ්ව කිහිපයක් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් සියල්ල විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරවම ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (01 දා) ප‍්‍රතික්‍ෂේප කළේය.
 
 එම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දු ප‍්‍රනාන්දු සහ පී‍්‍රති පද්මන් සූරසේන යන විනිසුරු මඬුල්ල හමුවේදි දෙවන දිනටත් ඊයේ (01 දා) සලකා බැලිනි.

මෙවැනි හිතුවක්කාර රෙගුලාසි මගින් ජනතාව සතු සැම දෙනාටම එකලෙස සැලකීම් ලැබීමට ඇති අයිතිය පමණක් නොව තමන් කැමැති ආගමක් ඇදහීමේ හා එකී ආගමික වත්පිළිවෙත් ඉටුකිරීමට ඇති අයිතිය ද උල්ලංඝනය කිරීමක් වන බව පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ පයිසර් මුස්තාපා, ජනාධිපති නීතිඥ නිශාන් කාරියප්පන් හා ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් යන මහත්වරු එහිදී අධිකරණය හමුවේ කියා සිටියහ.

 සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් එකී ගැසට් නිවේදනය කර ඇත්තේ ඇයගේ තනි කැමැත්තට නොව සෞඛ්‍ය අංශ බලධාරීන් සමග සාකච්ඡුා කොට ගත් ඒකමතික තීරණයක් අනුව බවත් එහිදී විනිසුරු මඬුල්ල හමුවේ පැවසූ නේරින් පුල්ලේ මහතා ඇය වෙත පැවැරී ඇති බලතල අනුව රටවැසියන්ගේ සෞඛ්‍ය සංරක්‍ෂණය වෙනුවෙන් එකී රෙගුලාසි පනවා ඇතැයිද කීය.

මෙරටේ පුරවැසියන් වන මුස්ලිම්, කතෝලික ජනතාවට පමණක් නොව සෙසු ආගම්වලට අයත් ජනතාවට ඔවුන්ගේ කැමැත්ත අනුව ආගම් ඇදහීමේ හා ආගමික වත්පිළිවෙත් ඉටුකිරීමට ඇති අයිතියට තමන් ගරු කරනා නමුත් කොරෝනා වැනි දරුණු වසංගතයකින් රටවැසියන් ගලවා ගැනීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යවරිය නිකුත් කළ එකී ගැසට් නිවේදනය බලරහිත කරනා ලෙසට පෙත්සම්කරුවන් ඉල්ලා සිටීම අයුක්ති සහගත වන්නේ යැයිද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නේරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කියා සිටියේය.

 එකී පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් නියෝගය ලබා දෙමින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා පෙන්වා දුන්නේ සිය ති‍්‍රපුද්ගල විනිසුරු මඬුල්ලේ බහුතර තීන්දුවෙන් එකී පෙත්සම් ප‍්‍රතික්‍ෂේප කිරීමට තීරණය කළ බවයි.

මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here