කොරෝන වලින් ලංකාව බේරගන්න , මම මූදට බිලිවෙන්න ලෑස්තියි – පවිත්‍රා වන්නිආරච්චි

0
93
pavithra-wanniarachchi

කොවිඩ් – 19 රෝගය ලංකාවෙන් අයින් වෙනවා නම්, මේක සනීප වෙනවා නම් මම මූදට බිලිවෙන්න ලෑස්තියි යනුවෙන් අරුණ පුවත් පත සමග පවතී සාකච්චාවකදී සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කර තිබෙනවා. අරුණ පුවත් පත සමග පවිත්‍රා වන්නිආරච්චි ඇමතිතුමිය සිදුකරනු ලැබූ සම්පුර්ණ සාකච්චාව පහත සදහන් වේ.

Green Card 1

අරුණ පුවත්: පවිත්‍රාරා වන්නිආරච්චි සෞඛ්‍ය ඇමැතිතුමිය, දැන් ඔබ අපි වෙනුවෙන් මූදට බිලිවෙන්න ලෑස්තියි?

මේ රට බුදු හාමුදුරුවෝ සතරවරම් දෙවියන්ට භාර දීපු රටක්. මේකේ අාධ්‍යාත්මික බලවේග ගොඩක් ක්‍රියාත්මක වෙනවා. මම මේ අමාත්‍යාංශේ උදේ දහයේ ඉඳලා රෑ අටහමාර වෙනකං තාක්ෂණික වැඩ කරනවා. ඒ සියලු තාක්ෂණික කාරණා මම කරන අතරතුරේදී සෞඛ්‍ය ඇමැතිවරිය හැටියට මට නොයෙකුත් ඒ වැඩ කරන අය මට ඇවිල්ලා කියනවා ඒ කටයුතු වලට අත තියන්න හිත තියන්න කියලා. ඒ එන ආරාධනා වලින් කීපයකට මම සහභාගී වෙනවා.

එතකොට සමාජ මාධ්‍යයෙන් කියලා තිබුණා මූද ගොඩ ගලන වෙලාවේ විහාර මහාදේවී මූදට බිලි වෙලා රට බේරාගත්තානං පවිත්‍රා වන්නිආරච්චි මූදට බිලිදීලාවත් රට ගොඩ ගන්න බලමු කියලා. එතකොට තමයි මම කිව්වේ කොවිඩ් – 19 රෝගය ලංකාවෙන් අයින් වෙනවා නම්, මේක සනීප වෙනවා නම් මම මූදට බිලිවෙන්න ලෑස්තියි කියලා. හැබැයි ඒක මම පැහැදිලිවම කිව්වා එහෙම වෙනවා නං කියලා.

ඒ කියන්නේ ඔබ මූදට බිලිවෙන්නේ නෑ?

කොවිඩ් – 19 රෝගය දුරුවෙනවා නම් මම මුහුදට බිලිවෙන්න ලෑස්තියි. ඔබතුමා මම කියන එක තේරුම් ගන්නකෝ. හැබැයි මගේ මූදට බිලිවීම තුළ කොවිඩ් – 19 රටින් අයින් විය යුතුයි. ඒක වැරදි විදිහට තේරුම් ගන්න එපා! ඒක තේරෙන්න එපෑය. මම මුහුදට පැන්න කියලා කොවිඩ් – 19 අයින් වෙන්නේ නෑනේ.

මූදට බිලිවෙලාවත් කරන්න බැරි දේ කරන්නද ඔබ ගිහිල්ලා අර මුට්ටි ගඟට දැම්මේ?

මම කිව්වනේ අාධ්‍යාත්මික බලවේග ගොඩක් ක්‍රියාත්මකවන රටක් කියලා මේක.

ඔබතුමී විශ්වාස කරනවාද මුළු ලෝකෙම පීඩාවට පත් කරලා තියෙන මේ තරම් භයානක ව්‍යසනයකට මේ කිසිදු විද්‍යාත්මක පදනමක් නැති විශ්වාසයන් තුළින් උත්තර හොයන්න පුළුවන් කියලා?

නෑ… මම කියන දේ ඔබතුමා හරියට පැහැදිලිව තේරුම් ගන්න. මගේ කාලයෙන් මම බුදියන වෙලාව ඇරෙන්න උදේ අටහමාරේ ඉඳලා රෑ දහය එකොළහ වෙනකං කොවිඩ් – 19 රෝගය අයින් කරන්න අවශ්‍ය තාක්ෂණික වැඩ කරන්නේ. ඉතිං ඒක කරන අතරතුරේදී නේ මේ වැඩේ කළේ. නැතුව ඒක විතරක් කරලා නිකං ඉන්නවා නෙවෙයිනේ. එතකොට සමහර දේවල් ගැන මගේ විශ්වාසයන් තියෙනවා. සමහර දේවල් මම විශ්වාස නොකළත් ඒ දේවල් විශ්වාස කරන අය හිතනවා සෞඛ්‍ය ඇමැතිවරයා තමයි මේකට අත තියන්න ඕන කියලා. එතකොට මම ඊයේත් එක තැනකට ගියා. ඒගොල්ලෝ දිගටම පූජාවන් තියෙනවා පිරිත් කිය කියා, පිරිත් කිය කියා බුදු බලයේ ශක්තියෙන් මේ රෝගය අයින් වෙන්න කියලා. ඒ ගොල්ලෝ දවස් 21 ක්ම අලෝක පූජා තියලා, මල් පූජා තියලා, දෙවිවරුන්ට ආරාධනා කරලා දෙවියොත් මේකට අත හිත තියාගන්න කියලා ඒ අය කියනවා අපි මෙච්චර අධිෂ්ඨානශීලීව වැඩ කරනවා. ඇයි ඇමැතිතුමියට බැරි මේ පූජාවට අත තියන්න. මේ අධිෂ්ඨානය කරන්න කියලා. ඉතිං මම ගිහිල්ලා කරලා ආවා.

ඇමැතිතුමිය මහා සංඝ රත්තනයත් නිවේදනයක් නිකුත් කරලා තිබුණා නේද කොවිඩ් වසංගතය රටින් අයින් කරන්න මිථ්‍යා විශ්වාස පස්සේ ගිහින් හරියන්නේ නෑ කියලා?

එතකොට මිථ්‍යා විශ්වාසයක්ද බුදු බලය හරහා දෙයක් කරන එක. ඒක මම ඕන තැනක කියනවා තුනුරුවන්ගේ ගුණය ඇරෙන්න ඒ ඒ බලය ලෝකයේ තියෙන මම විශ්වාස කරන ලොකුම බලය.

එතකොට ඔබ කියන්නේ ඔය ගංගාවලට දාපු මුට්ටිවල තිබුණේ පිරිත් පැන් කියලාද?

ඔව්… ඔව්…

එතකොට මොකද්ද එහෙනං මේ ඒලියන්ත වයිට් කුණ්ඩලනී ශක්තියෙන් ජීවම් කරපු ජලය කියලා පැතිර යන කතාව?

ඉතිං ඒලියන්ත වයිට් මහත්තයා හොඳ බෞද්ධයෙක් විදිහට බුදුහාමුුදුරුවන්ගේ බුදුගුණ විශ්වාස කරලා කරන්න කියලා මට කිව්වේ. තුනුරුවන්ගේ බලයෙන් මේ රටෙන් මේ වසංගතය තුරන් වේවා කියලා ගඟට දාන්න කියලා තමයි මට දුන්නේ. මට කිව්ව එකනේ ඒක. මම හිතුව එකනේ ඒක. ඉතිං මොකද්ද ප්‍රශ්නේ.

හොඳයි ඒ ප්‍රශ්නේ ඉවරයි. දැන් මට කියන්න ඇමැතිතුමියනි, අපි දන්නවා මේ දෙවැනි කොරෝනා රැල්ල පළමු කොරෝනා රැල්ලට වඩා වේගෙන් ඔඩු දුවනවා. මේ සම්බන්ධයෙන් නැගෙන චෝදනා අතර PCR පරීක්ෂාව පිළිබඳ නැගෙන චෝදනාව සැරටම තියෙනවා. මේ චෝදනා කරන්නෙත් සෞඛ්‍ය අංශයේම නිලධාරියෙක් වන රවි කුමුදේශ්. ඒ අතරිනුත් PCR පරීක්ෂණවල තියෙන ප්‍රමාදය ගැන නැගෙන චෝදනාව ප්‍රමුඛයි?

මෙහෙමයි. අපි මේ රෝගය ගැන දැනගත්ත වහාම PCR පරීක්ෂණ කරන්න අවශ්‍ය විධිවිධාන යෙදුවා. මොකද අපේ රටට ලෙඩෙක් ආවොත් හඳුනා ගන්න ඕන නිසා. ඒ අනුව තමයි අර චීන ජාතික කාන්තාව අපි ලෙඩෙක් විදිහට අඳුනා ගත්තේ. එතකොට ජනවාරි මාසේ වෙනකොට අපේ රටේ මේ පරීක්ෂණය කරන්න පුළුවන් වෙලා තිබුණේ එකම එක ලැබ් එකක විතරයි. මාර්තු මාසේ වෙනකොට අපි ඒක හයක් කරගත්තා. හැබැයි ඒ ලැබ් 6න් ම ඒ වෙනකොට කරන්න පුළුවන් වුණේ පරීක්ෂණ 300 යි. ඔය පළවැනි රැල්ල තිබුණු කාලේ අපිට දවසකට 3000ක් කරගන්නවා කියන එකත් හරිම අමාරු ඉලක්කයක්. මම මගේ නිලධාරීන්ට උපදෙස් දුන්නා කවදා වුණත් ලීක් එකක් වෙන්න ඉඩ තියෙනවා.
ඒ නිසා ලැබ් සංඛ්‍යාව වැඩි කරන්න කියලා. ඒ අනුව අපි අද වෙනකොට ලැබ් 26ක් පරීක්ෂණ සිද්ධ කරනවා. දැන් දවසකට අපි 8000කට වැඩියෙන් පරීක්ෂණ කරනවා. එතකොට තේරුම් ගන්න ඕන මාර්තු මාසේ 300ක් කරපු අපි අද 8000ක් වෙනකං කරන්නේ අපි මේකට වෙච්ච සූදානම නිසා කියලා. එතකොට ඔබට මතක ඇති පළමු වැනි රැල්ලේදී දවසක හම්බවුණේ ලෙඩ්ඩු 5 යි නැත්තං 10 යි. නමුත් අද අපිට දවසකට 400ක් 500ක් හම්බවෙනවා. එතකොට මේ එක ලෙඩෙක්ට ආශ්‍රිතයෝ 50ක් විතර ඉන්න පුළුවන් කියලා අපි හිතුවොත් අද දවසකට අඩුම ගානේ අපි PCR 25,000ක් කරන්න ඕනනේ. නමුත් අපේ ප්‍රමාදයක් දැන් නෑ.
ඒ වගේම අපි තේරුම් ගන්න ඕන ලංකාව කියන්නේ මේ සෞඛ්‍ය අතින් මහා දියුණුවක් ලබා තියෙන එංගලන්තයවත්, ඇමරිකාවවත්, ජපානයවත්, චීනයවත්, ඉන්දියාවවත් නෙවෙයි. නමුත් ඒ රටවල්වලට සාපේක්ෂව අපේ මරණ අනුපාතය කීයද? මේකෙදී වැදගත් වෙන්නේ මේ මරණය කියන එක. එහෙම තියෙද්දී මේ පොඩි පොඩි ඒවා අල්ලාගෙන කෑ ගහනවා. එතකොට ලෝකේ දියුණු රටවල් කියන්නේ මොකද්ද? ඔබට රෝග ලක්ෂණ තියෙනවා නම් ඉසිපිරිතාලෙට එන්න. නමුත් අපි ඔක්කොම ලෙඩ්ඩු ඉස්පිරිතාලෙට ගෙනියනවා.
ඒ වගේම දවසකට සුව වෙලා ගෙදර යන ලෙඩ්ඩු ගාණ ගැන කවුරුවත් කතා කරන්නේ නෑනේ. අපිට මේ බෝවෙන රෝගීන්ට ප්‍රතිකාර කරන්න තිබුණේ එක රෝහලයි. ඒ IDH රෝහල විතරයි. මාර්තු මාසේ වෙනකොට අපි රෝහල් 9 ක් හදා ගත්තා මේ රෝගීන්ට ප්‍රතිකාර කරන්න. එතකොට අද වෙනකොට අපි රෝහල් 36ක් හදාගෙන තියෙනවා. ඒ වගේම කොච්චර ලෙඩ්ඩු ආවත් අපි කිසිම ලෙඩෙක් ඉස්පිරිතාලෙට නොගෙන ඉන්නෙත් නෑනේ.
දැන් එතැනත් ප්‍රශ්නයක් තියෙනවා නේද? ඉස්පිරිතාලවලට ලෙඩ්ඩු ගත්තාට ඔවුන්ට කිසිම පහසුකමක් නෑ. කෑම බීම නෑ. අඩුම තරමේ පැරසිටමෝල් පෙත්තක්වත් ලැබෙන්නේ නෑ. ඊට වඩා හොඳයි ගෙදර හිටියානං කොත්තමල්ලි ටිකක් බීලා හුමාලේ ටිකක් අල්ලගෙන ඉන්නවා කියලත් සමහරු කියනවා?
පළමුවැනි කාරණේ ආණ්ඩුවක් විදිහට අපිට ඒ ප්‍රතිපත්තිමය තීරණය දැනට ගන්න වෙනවා හැම ලෙඩෙක්ම අපි ඉස්පිරිතාලෙකට දානවා. අනික මම හිතන්නේ මගේ වගකීමකුත් නෙවෙයි ලෙඩෙකුට ගෙදරට වෙලා ඉන්න කියන එක. ප්‍රතිකාර ඉතිං අපිට තීරණේ කරන්න බෑ ප්‍රතිකාර. ඒක දොස්තර මහත්තුරු කරන්න ඕන දෙයක්. අධ්‍යක්ෂවරුන්ට අපි මුදලක් දීලා තියෙනවා රෝගීන්ට අවශ්‍ය දේ අරන් දෙන්න කියලා. මේ රෝගීන්ට හයිප්‍රෝටීන් ඩයට් එකක් තමයි නිර්දේශ කරලා තියෙන්නේ. අධ්‍යක්ෂවරුන්ට මුදල් දීලා තියෙනවා ඉස්පිරිතාලේ උයන කෑම හොඳ නැත්තං පිට තැනක උයවලා හරි හොඳ කෑම දෙන්න කියලා. ඉතිං මේ දේවල් තවත් වෙනස්කම් වලට භාජනය කරන්න අවශ්‍ය නම් අපි ඒ වෙනස්කම් කරන්නත් ලෑස්තියි.

ඇමැතිතුමියනි පෞද්ගලික අංශයටත් ඉඩ කඩ තියෙනවාද මේ PCR පරීක්ෂණ කරන්න?

ඔව්.
නමුත් මේ පරීක්ෂණ කටයුතු නිවැරදි ප්‍රමිතියකින් තොරව කිරීම නිසා, විශේෂයෙන් මුදල් ගැනම විතරක් හිතලා කරගන්න බැරි තරම් පරීක්ෂණ භාර ගැනීම නිසා එක්තරා පෞද්ගලික රෝහලක සේවකයන්ටත් වයිරසය ආසාදනය වුණා කියලා පහුගිය දවස්වල අපිට අසන්නට ලැබුණා.

මේවා ගැන අමාත්‍යාංශය හොයන්නේ නැද්ද?

මටත් ඔය ආරංචිය ආවා. මම අමාත්‍යාංශයෙන් කණ්ඩායම් යවලා ඒවා බලනවා. මට ලැබෙන රිපෝට්ස්වලට අනුවනම් ඔවුන් ඒවා නියම ප්‍රමිතියකින් කරනවා. ආණ්ඩුවේ ඒවටත් වඩා හොඳට වෙන එකක් තියා ඒ හැම තැනම ටෙස්ට් කරන්නේ පැතලොජිස්ට් කෙනෙකුත් තියාගෙන කියලා තමයි මට වගකිවයුතු නිලධාරීන් කියන්නේ.

ඇමැතිතුමිය තාමත් මේක සමාජයට ගිහිල්ලා නැද්ද?

මෙහෙමයි ඇමැති විදිහට මට දෙන්න තියෙන උත්තරේ ඔබතුමා ඕක ලොකු කරලා දායි පත්තරේ හරිද. ඒ වගේ වැඩනේ ඕගොල්ලෝ කරන්නේ. මොකද මම සෞඛ්‍ය ඇමැති විදිහට දෙන ප්‍රකාශයයි ගමේ පවිත්‍රා වන්නිආරච්චි කියන නීතිඥයා කියන කතාවයි දෙකක්. ඒක පටලවා ගන්න එපා. එතකොට සෞඛ්‍ය ඇමැති විදිහට දෙන ප්‍රකාශය මට දෙන්න වෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් වසංගත රෝග විද්‍යා අංශය විසින් සමාජ ගත වුණා කියලා දෙන නිර්වචනයට අනුවයි.

ඔව් මම මේ ප්‍රශ්නේ අහන්නේ මේ රටේ සෞඛ්‍ය ඇමැතිනියගෙන්. පවිත්‍රා වන්නිආරච්චි කියන නීතිඥවරියගෙන් නෙවෙයි?

ලෝක සෞඛ්‍ය සංවිධාන නිර්වචනය අනුව රටක එක ලෙඩෙක්වක් නැත්නං කියනවා ඒක පළමුවැනි අවදිය කියලා. තැනින් තැන ලෙඩ්ඩු හම්බවෙන, හැබැයි ඒ හම්බවෙන ලෙඩ්ඩු කාගේ සම්බන්ධතාවක් තියෙනවාද කියලා හොයා ගන්න පුළුවන් අවස්ථාව දෙවැනි අවධිය. තුන්වැනි අවධිය පොකුරු අදියර. ඒ කියන්නේ තැනින් තැන ආසාදිත පොකුරු මතුවීම. එතැනදීත් අපිට මේ පොකුරු අතර සම්බන්ධතාවක් හොයා ගන්න පුළුවන්. දැන් අපි දන්නවා රත්නපුරේ අහවල් පුද්ගලයා ලෙඩ වුණේ මාළු මාර්කට් එකට ඇවිල්ල ගිය හින්දා. නැත්නම් ඩොක්යාර්ඩ් එකේ පුතා වැඩ කරන හින්දා.
මේ වගේ අපිට ලින්ක් හම්බ වෙනවා. හතරවැනි අදියර කියලා කියන්නේ කිසිම සම්බන්ධතාවක් හොයා ගන්න බැරුව හැම තැනකින්ම රෝගීන් හමු වීම. එතකොට මේක සමාජය තුළ පැතිරිලාද කියලා මම අහනකොට වසංගත රෝග අංශයෙන් මට නිර්වචනයක් දෙනවා මේක තාමත් තියෙන්නේ පොකුරු අවධියේ කියලා. නමුත් අර ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්වචනයට අනුව කිසිම සම්බන්ධතාවක් හොයා ගන්න බැරි විදිහට හැම ගමකින්ම රෝගීන් මතුවෙන්න ගත්තොත් එදාට වසංගත රෝග ඒකකය විසින් මට ලියලා දෙයි මේක සමාජ ගත වෙලා කියලා. එදාට තමයි මට සෞඛ්‍ය ඇමැති විදිහට කියන්න පුළුවන් වෙන්නේ මේක සමාජ ගතවෙලා කියලා. එහෙම නැතුව ගමේ ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙන ගත්ත නීතිඥ පවිත්‍රා වන්නිආරච්චිට හිතෙන දේ මට කියන්න අමාරුයි. මට කතා කරන්න වෙලා තියෙන්නේ විද්‍යාත්මකව දෙන නිර්වචනයකුත් එක්ක.
රාජ්‍ය ඇමැති වෛද්‍ය චන්න ජයසුමන යෝජනා කරනවා මේ කොරෝනා ජයගන්න නම් බටහිර වෛද්‍ය ක්‍රමය හා දේශීය, ආයුර්වේද වෛද්‍ය ක්‍රමයන් එක්ව වැඩ කළ යුතුයි කියලා. විශේෂයෙන්ම ආයුර්වේදයේ එන ඖෂධයක් බටහිර රෝහල්වල දෙන්න ඔහු යෝජනා කරනවා. නමුත් මේ නිසා දැන් මේ වෛද්‍ය සම්ප්‍රදායන් දෙක අතර ගැටුමක් නිර්මාණය වෙමින් තියෙනවා නේද,

විශේෂයෙන්ම බටහිර වෛද්‍යවරු මේකට කැමැති නෑ කියලා තමයි ආරංචි?

බලමු දැන් එතුමා ඒක ක්‍රියාත්මක කරනවා කියලා කිව්වානේ.

දැන් ජනාධිපතිතුමා ඊයේ කිව්වා මේ රට හැමදාම මෙහෙම වහගෙන ඉන්න බෑ රට ඇරලා සාමාන්‍ය විදිහට වැඩ කරන්න ඕන කියලා. දැන් මෙතැනදීත් විශාල වගකීමක් පැවරෙන්නේ ඔබේ උර මත නේ?

මෙහෙමයි ජනාධිපතිතුමා හැමදාම උදේ වරුවෙ ගන්නවා රැස්වීම. ඒකට සෞඛ්‍ය ඇමැති විදිහට මමත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුත් සහභාගී වෙනවා. හමුදාපතිතුමා හා පොලිස්පතිතුමා සහභාගී වෙනවා. එතකොට ගරු ජනාධිපතිතුමා හැම තිස්සේම තීන්දු ගන්නේ වෛද්‍ය විශේෂඥවරුන්ගේ නිර්දේශ අනුව. එතුමා තනි තීන්දු ගන්න යන්නේ නෑ, රට වහනකොටත් වෛද්‍ය විශේෂඥවරු කියනදේ අහලා වහනවා. රට අරිනකොටත් එතුමා වෛද්‍ය විශේෂඥවරු කියන දේ අහලා තමයි අරින්නේ. එතකොට මම කටයුතු කරන්නේත් එහෙමයි.
අපේ රජයේ ස්ථාවරයත් එහෙමයි. තීන්දු තීරණ ගැනීමේදී විශේෂඥ වෛද්‍ය මතය අනුව තමයි අපි වැඩ කරන්නේ. අපි මේක දේශපාලනය කරන්න යන්නෙත් නෑ. මම දොස්තරවරුන්ට උගන්නන්න යන්නේත් නෑ. මට දොස්තරවරුන්ට උගන්වන්නත් බෑ. හැබැයි අතිගරු ජනාධිපතිතුමා කියන්නේ මේ රටේ මිනිස්සුන්ගේ ඡන්දෙන් පත් වෙච්ච නායකයා. කඩෙඅප්පං විකුණන මනුස්සයත් සර්ට SMS එකක් දාලා කෝල් එකක් දාලා කියනවා, සර් දැන් මට ජීවත් වෙන්න බෑ කියලා. ඒ මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැන ජනාධිපතිතුමා සංවේදී නිසානේ එතුමා කියන්නේ රට වහනකොට ම ඒ වහන පැති වල මිනිස්සුන්ට රු 5000ක් වත් දෙන්න ඕන කියලා. රටට සල්ලි තිබිලා නෙවෙයිනේ. දැන් බලන්න ගම්පහ වැහුවේ ගිය 4 වැනිදානේ අද කවද්ද අදට හරියටම මාසයක්නේ ගම්පහ වහලා. මිනිස්සු ගෙවල් අස්සට දාලා තියනවා. එතකොට ඒ මිනිස්සු ජීවත්වෙන්නේ කොහොමද? ජනාධිපතිතුමාට මේක දැනෙනවා.
පාර්ලිමේන්තුවේ කතාබහක් ඇතිවුණා අපි දැක්කා මේ කොරෝනා රෝගයෙන් මිය යන මුස්ලිම් භක්තිකයන් ආදාහනය නොකර භූමදාන කරන්න ඉඩ ඉල්ලලා. එතැනදී ඔබ කිව්වා මේ ගැන වැඩපිළිවෙළක් සකස් කරමින් තියෙනවා කියලා. නමුත් පළමු කොවිඩ් රැල්ලෙදී කියලා තිබුණා නේද මේක කරන්න බෑ. විෂබීජ ව්‍යාප්ත වෙන්න පුළුවන් මොකද අපේ රටේ වෝටර් ලෙවල් එක පොළොව මට්ටමට ඉතාම ළඟ නිසා කියලා?
ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරගෙන යනවා කියලා මම කිව්වේ නෑ. අලි සබ්රි ඇමැතිතුමා කැබිනට් මණ්ඩලයට ඇමැති මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කළා ඉතිං ඒ අනුව ඒක මට තාක්ෂණික කමිටුවකට දාන්න වෙනවා. එතකොට ඒ තාක්ෂණික කමිටුව දෙන උත්තරේ තමයි අපිට පිළිගන්න වෙන්නේ. ගිය සැරේත් තාක්ෂණික කමිටුව තමයි අපිට ඒ උත්තරේ දුන්නේ. මොකද මේ වගේ කාරණා දේශපාලනඥයන්ට තීන්දු කරන්න බෑ,

ඇමැතිතුමී ආතතියෙන්ද ඉන්නේ?

කිසිම ආතතියක් නෑ.

ඔබට රෑට සනීපෙට නින්ද යනවාද?

ආ… මම දන්නේ නෑ. ඒක කොච්චර වැදගත්ද කියලා ඔබතුමාට.
මම ඒක ඇහුවේ ඔබතුමීගේ නින්ද ගැන දැනගන්න නෙවෙයි. මම දන්නා ඉතිහාසේ මේ තරම් අභියෝගකාරී තත්ත්වයකට මූණ දීපු සෞඛ්‍ය ඇමැති කෙනෙක් මේ රටේ ඉඳලා නෑ.

ඔබයි ඒ සෞඛ්‍ය ඇමැතිවරයා. මම ඒකයි ඒ ප්‍රශ්නේ ඔබෙන් ඇහුවේ?

මට කිසිම ආතතියක් නෑ. මම බොහෝම නිවැරදි මනසකින් නිවැරදි තීන්දු ගන්න පුළුවන් තත්ත්වයක වැඩ කරගෙන යනවා. ඒ නිසා මට සෞඛ්‍ය අමාත්‍යාංශය ලොකු අභියෝගයකුත් නෙවෙයි. මම හොඳ සැහැල්ලුවෙන් නිදා ගන්නවා.

සමන් සමරක්කොඩි

මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.
Blue-and-Red-72x36-Landscape-Voter-Education-Banner-1
Up to December 17, 2020
Advertisement

ඔබගේ සියළුම ඉදිකිරීම් අවශ්‍යතාවයන් සදහා ග්‍රීන් ඇස්සිස් ඉංජිනිරින් ආයතනය අමතන්න

0770312818 / Click here for Facebook

Call Now 0717 93 82 93

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here