එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 75 වන සැසිවාරය අමතා ජනාධිපතිතුමා සිදුකළ කතාව

0
178
Gotabaya_rajapakse

ගරු සභාපතිතුමනි,
ගරු මහ ලේකම් තුමනි,
ගරු රාජමහාමාත්‍යවරුනි,
ගරු තානාපතිවරුනි,
ගරු නියෝජිතවරුනි,
නෝනාවරුනි, මහත්වරුනි,
ආයුබෝවන්!
පළමුව මහා මණ්ඩලයේ 75 වන සැසිවාරයේ සභාපති ධුරයට තේරී පත් වූ ගරු වොල්කන් බොස්කීර් මැතිතුමාට මාගේ සුභාශිංසන පළ කරමි. අපි ඔබට සාර්ථකත්වය ප්‍රාර්ථනා කරන අතර අපේ පූර්ණ සහයෝගය සපථ කර සිටින්නෙමු.
පසුගිය මහා මණ්ඩලයට දුන් ඵලදායී නායකත්වය වෙනුවෙන් ගරු මහාචාර්ය ටිජානි මුහාමඩ් – බැන්ඩේ මැතිතුමාට අපේ ප්‍රසාදය පළ කිරීමට මම මෙය අවස්ථාවක් කර ගනිමි.
වසංගතය නිසා ඇතිවූ පෙර නොවූ විරූ තත්ත්වයන් යටතේ පවා, එක්සත් ජාතීන්ගේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට දුන් ගතික නායකත්වය හා ගත් අප්‍රතිහත ප්‍රයත්න වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගු‍තේරස් මැතිතුමාට ශ්‍රී ලංකාවේ කෘතඥතාව පළ කර සිටිමි.
වර්තමානයේ පවත්නා සීමා බාධක මධ්‍යයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය නවමු ආකෘතියකින් පැවැත්වීමට ගන්නා ලද උත්සාහය ප්‍රශංසනීයයි.
වසංගතය නිසා සිය ආදරණීයන් අහිමි වූ සියලු දෙනාට මාගේ බලවත් ශෝකය ප්‍රකාශ කර සිටින අතර සිය කැපවීම හා පරාර්ථකාමී බැඳීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා ඉදිරි පෙළ සෞඛ්‍යය සහ අත්‍යවශ්‍ය සේවා සපයන්නන්ට මාගේ හෘදයාංගම කෘතඥතාව පුද කරමි.
මේ වසරේ පොදු විවාදයේ තේමාව කාලෝචිතය. එමගින් කොවිඩ් – 19 හි බලපෑම් අවම කිරීම සඳහා ජාතික දේශ සීමා අතර සහයෝගීතාවයේ වැදගත්කම පිළිබිඹු කෙරේ.
“කොවිඩ් – 19 ගෝලීය මානුෂීය ප්‍රතිචාර සැලැස්ම” සහ කොවිඩ් – 19 ප්‍රතිචාර සහ ප්‍රතිසාධන අරමුදල පිහිටුවීම ඇතුළුව මේ අභියෝගයට ප්‍රතිචාර දැක්වීමට එක්සත් ජාතීන් ගත් ව්‍යායාමය අපි අගය කරන්නෙමු.
වසංගතයට ගෝලීය ප්‍රතිචාර සැකසීමෙහි ලා තීරණාත්මක භූමිකාවක් ඉටු කළ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉටු කරන පුළුල් කාර්ය භාරයට ශ්‍රී ලංකාව සහයෝගය පළකර සිටී.
වැඩි දියුණු කළ පසු මූලික සෞඛ්‍ය පහසුකමක් ලෙස නම් කළ යුතු කොවිඩ් – 19 එන්නත සියලු දෙනා හට ප්‍රවේශ විය හැකි, දැරිය හැකි හා ලබා ගත හැකි එන්නතක් වනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය වග බලා ගත යුතුය.
සිය දිගු කාලීන ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් පිළිබඳව අභිමානයට පත් රටක් වශයෙන් ශ්‍රි ලංකාව නිදහස් හා සාධාරණ මැතිවරණ දෙකකට මුහුණ දුන් අතර ඉන් එකකින් මා ජනාධිපතිවර‍යා වශයෙනුත් අනෙකෙන් මාගේ රජයත් සුවිශාල බහුතර බලයකින් තේරී පත් වී ඇත.
මෙය කිසිදු බලවේගයකට යටත් නොවී ජනතාව රැක ගන්නා වූත් රටේ ස්වෛරීභාවය ආරක්ෂා කරන්නා වූත් ඉදිරි ගමනට ශ්‍රී ලාංකීය ජනතාව සහය වන බවට වන පැහැදිලි සංඥාවකි.
කොවිඩ් – 19 වසංගතය හමුවේ ලොව ඉතා ප්‍රබල රටවල් පවා සැලකිය යුතු තර්ජනයන්ට මුහුණ දී සිටින අවස්ථාවක, අභියෝගයට සාර්ථකව මුහුණ දීමට ශ්‍රී ලංකාව සමත් වී ඇත.
ශක්තිමත් දේශීය සෞඛ්‍ය සේවා පද්ධතියක සහයෙන් ජාතික මට්ටමේ නිවාරණ පියවර මනා ලෙස සම්බන්ධීකරණය හා සමගාමී ක්‍රියාකාරීත්වය සහිත යාන්ත්‍රණයකට ස්තූතිවන්ත වන්නට එහි පැතිරීම වලක්වා ගැනීමට අපට හැකි විය. මේ දැවැන්ත කර්තව්‍යයට මගේ රටේ ජනතාව දුන් සහයෝගයට මා කෘතඥ විය යුතුය.

ව්‍යසනය අතරතුර ශ්‍රී ලංකාවේ ඔරොත්තු දීමේ හැකියාවට හේතුවූයේ ස්වකීය ජනතාවගේ සෞඛ්‍යයට හා ආරක්ෂණයට මුල් තැන දෙමින් රජය විසින් ගන්නා ලද “සියලු දෙනා ඇතුළත් කිසිවෙකුට වෙනසක් නොකරන” හා සාකල්‍ය පියවර සමූහයකි.
මේ ක්‍රියාමාර්ග අතරට අඩු ආදායම් පවුල්, විශ්‍රාමිකයන්, වෙනස් හැකියාවන් සහිත පුද්ගලයන්, දෛනික වැටුප් ලාභීන්, ගොවීන් හා අඩු වරප්‍රසාදිත කණ්ඩායම් වලට මූල්‍යමය වශයෙන් සහය වීම හා මනා සම්බන්ධීකරණයෙන් එතෙර සිටින ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම ඇතුලත් විය.
නව ආර්ථික ප්‍රවණතා නිර්මාණය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව ව්‍යාපාරික අවස්ථා ගවේෂණය කිරීමෙහි ද නිරත විය. ගොවියා, සැපයුම්කරු හා පාරිභෝගිකයා සම්බන්ධ කිරීමට, අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීමට සහ ඔන්ලයින් අධ්‍යාපනය ලබා දීමට ඩිජිටල් තාක්ෂණය භාවිත කිරීම මෙයට අන්තර්ගත විය.
මේ පියවර වාර්ගික, ආගමික හෝ සාමාජයීය වටපිටාව නොසලකා සියලු ශ්‍රී ලාංකිකයන්ට සහ ගුවන් ගමන් සීමා කිරීම් හේතුවෙන් සිර වී සිටි සියළුම විදේශිකයන්ගේ “ජීවත් වීමේ අයිතිය” තහවුරු කළේය.
සම්පත් සහිත බොහෝ රටවලට සාපේක්ෂව මැද මට්ටමේ පහසුකම් සහිතව වුවද වඩා ඵලදායී අයුරින් කොවිඩ් – 19 පාලනය කිරිමේ ශ්‍රී ලංකාවේ වෑයම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රශංසාවට ලක් කර ඇත.
එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල ඇගයීමට ලක් කළ පරිදි දරුවන්ට ආරක්ෂාකාරීව උගෙනීම සඳහා පාසල් විවෘත කළ දකුණු ආසියාවේ පළමු රටවල් අතරට ශ්‍රී ලංකාව ද අයත් වේ. ලෝක චාරිකා හා සංචාරක කවුන්සිලය විසින් මෑතකදී ශ්‍රී ලංකාව සංචාරකයන් සඳහා සුරක්ෂිත ගමන්නාන්තයක් ලෙස නම් කරනු ලැබීය.
වසංගතය හේතුවෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් පෙර නොවූ විරූ ආර්ථික හා ණය අර්බුදයකට මුහුණ දී සිටින බවත්, එවැනි රටවල් සඳහා ණය සහන සහ මූල්‍ය උත්තේජනයේ අවශ්‍යතාවය නිසි ලෙස හඳුනා ගත යුතු බවත් ශ්‍රී ලංකාව තරයේ සඳහන් කර සිටී.
‘තිරසර සංවර්ධන සඳහා න්‍යාය පත්‍රය – 2030’ යථාර්ථයක් කරගැනීමට ශ්‍රී ලංකාව කැප වී සිටී.
එපමණක් නොව, රටක් වශයෙන් අපේ පරිසරය රැක ගැනීම පිළිබඳව අපි දැඩි සේ සැලකිලිමත් වන්නෙමු. අපට ආවේණික වූ ජෛව විවිධත්වයක් සහිතව, අපගේ පාරිසරික වත්කම් නිසි ලෙස සංරක්ෂණය කිරීමට පමණක් නොව ඥානාන්විත භාවිත කිරීමට ද අපි සහතික වන්නෙමු. මගේ රජය පරිසරය සුරැකීම සහ ඉදිරි සංවර්ධන ගමන අතර නිවැරදි සමතුලිතතාවක් පවත්වා ගැනීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටී.
අපගේ මුහුදු සීමාවෙහි තෙල් නැවක් විපතට පත්වීමෙන් ඇතිවූ බරපතල තත්ත්වය අපගේ සමුද්‍රීය සම්පත් කිසිදු ආකාරයකින් හානියට පත් නොවන අයුරින් පාලනය කර ගැනීමට අපි සමත් වූයෙමු.
මෙවන් වූ දැවැන්ත ව්‍යසන පාලනය සඳහා සීමිත සම්පත් සහිත කුඩා රටක් වශයෙන් අපි අසල්වැසි රටවල සහයෝගයෙන් තෙල් නැව හේතුවෙන් පරිසරයට සිදු වූ හානිය අවම කර ගත්තෙමු.
මේ ගැටළුව නිරාකරණය සඳහා වන ක්‍රියාමාර්ග ඒකරාශී කරන්නා වූ දරිද්‍රතාව පිටු දැකීමේ සන්ධානය දියත් කිරීමට 74 වන මහා මණ්ඩලයේ සභාපති ගත් ප්‍රවේශය ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගන්නීය.
මාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය වන “ සෞභාග්‍යයේ දැක්ම” මත පදනම්ව නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කිරීම උදෙසා ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව පිටු දැකීම අරමුණු කරගත් ජනාධිපති කාර්ය සාධන බලකායක් පිහිටුවනු ලැබීය.
නව ප්‍රවේශ පාදක කර ගනිමින් අනන්‍ය වූ ආර්ථික ව්‍යුහයක් ගොඩනැගීමට කාර්ය සාධක බලකාය අවධානය යොමු කර ඇත. අන්ත දරිද්‍රතාවයෙන් අපේ සමාජය ආරක්ෂා කර ගැනීමේ මගේ රටේ දීර්ඝ හා ස්ථාවර ඉතිහාසය එමගින් ඌණපූරණය කෙරේ.
අපේ රජය දිළිඳු පවුල් ඉලක්ක කරගනිමින් දරිද්‍රතාව අවම කිරීමට සහ එකී සෑම පවුලකම සාමාජිකයෙකුට වැටුප් සහිත රැකියාවක් ලබා දීමෙන් දිළිඳු කමින් මිදීමට සහ අනාගතය දෙස අපේක්ෂා සහගතව බැලීමට උපකාරී වන එඩිතර හා නිර්මාණාත්මක ප්‍රවේශයක් ගනිමින් සිටී.
අධ්‍යාපනය දිළිඳුකමෙන් මිදීමේ වැදගත් මෙවලමක් බව අපි වටහා ගෙන සිටිමු.
ජාතික ප්‍රතිපත්ති රාමුවේ අන්තර්ගතව ඇති පරිදි ශ්‍රී ලංකාවේ ජාතික අධ්‍යාපන පද්ධතිය “ සෑම දරුවෙකුටම සමාන ඉගෙනුම් අවස්ථා” යන තේමාවට උචිත පරිදි ප්‍රතිව්‍යුහගත කර ඇත.
බොහෝ ග්‍රාමීය පාසල් වැඩි දියුණු කරමින් තිබෙන අතර සෙසු ඒවා නවීකරණය කර ඇත්තේ දරුවන් දැනුමෙන් හා නිපුණතාවයෙන් සන්නද්ධ කර රටේ සංවර්ධනයට දායක වීම සඳහා ඔවුන්ට සහය වීම පිණිසය.
සියලුම විදුලි සංදේශ මෙහෙයුම්කරුවන්ගේ සහයෝගයෙන් පාසල් දරුවන් වෙනුවෙන් නොමිලේ පිරිනැමුණු “ඊ – ඉගෙනුම් පෝටලය” වසංගත කාලය තුළ නිවසේ සිට අධ්‍යාපන කටයුතු වල නිරත වීමට සාර්ථක අත්වැලක් විය.
වෘත්තීය හා තාක්ෂණික අධ්‍යාපනය හා පුහුණුව කෙරෙහි අවධානය යොමු කරමින් කාන්තාවන්, දරුවන් හා තරුණයන් සඳහා වන සියලුම අධ්‍යාපනික අංශ ආවරණය වන පරිදි මෑතකදී රාජ්‍ය අමාත්‍යාංශ පිහිටුවන ලදී.
මත්ද්‍රව්‍ය ආශ්‍රිත සමාජ ආර්ථික ගැටළු විසඳීම සඳහා ශ්‍රී ලංකාව දැඩි කැපවීමකින් ක්‍රියා කරයි. දරුවන් සහ තරුණයින් අතර මත්ද්‍රව්‍ය භාවිතය පිටුදැකීමේ ප්‍රයත්න වැඩි කිරීම ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවයක් සහ අධ්‍යාපනික පද්ධතිය කිසිදු හානිකර හා ඇබ්බැහි වන මත්ද්‍රව්‍ය වලින් තොර බව සහතික කිරීමේ අවශ්‍යතාවයක් පවතී.
නීති විරෝධී මත්ද්‍රව්‍ය නිෂ්පාදනයෙහි හා ජාවාරමෙහි නිරත අන්තර්ජාතික අපරාධ කණ්ඩායම්වල වර්ධනය වන කාර්යක්ෂමතාව පිළිබඳව ශ්‍රී ලංකාව අතිශයින් සැලකිලිමත්ය.
මෙය ආමන්ත්‍රණය කිරීම සඳහා මත්ද්‍රව්‍ය උවදුර තුරන් කර වඩා සුරක්ෂිත හා ආරක්ෂාකාරී රටක් නිර්මාණය කිරීමේ අරමුණෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කර ඇත. ආරම්භ කළ දා පටන් එය ප්‍රශංසනීය ප්‍රතිඵල අත් කර ගෙන තිබේ.
දශක තුනකට ආසන්න කාලයක් බෙදුම්වාදය හා ත්‍රස්තවාදය අත් විඳ ඇති ශ්‍රී ලංකාව, දේශීය වේවා අන්තර්ජාතික වේවා සියලුම ආකාරයේ ත්‍රස්තවාදී ක්‍රියා හැකි උපරිම අයුරින් හෙළා දකී.
ශ්‍රී ලංකා භූමියෙන් එය තුරන් කළද, සිය කුරිරු මතවාදය ප්‍රචලිත කරමින් හා එහි පදනම් විරහිත අසත්‍ය ප්‍රචාරණය මගින් ඇතැම් අගනගර වලට බලපෑම් කිරීමට මේ ත්‍රස්තවාදී සංවිධානයේ ජාත්‍යන්තර ජාලය තවමත් ක්‍රියාත්මකව පවතී.
විවිධ මවාපෑම් සහ ප්‍රකාශ තුළින් ප්‍රචණ්ඩ දෘෂ්ටිවාදය අඛණ්ඩව ඉදිරියට ගෙන යන මේ ජාත්‍යන්තර ජාලයේ ක්‍රියාකාරකම් කිසිදු රාජ්‍යයක් විසින් නොඉවසනු ඇති බවට අපි ‍බලාපොරොත්තු වෙමු.
පටු දේශීය දේශපාලනික පෙළඹවීම් නොතකා ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා ගෝලීය ප්‍රජාව ශ්‍රී ලංකාව සමග සහයෝගයෙන් නැඟී සිටිය යුතුය. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර ලොවට හඳුන්වා දුන් මේ දෘෂ්ටිවාදය ලොව පුරා ප්‍රචණ්ඩ අන්තවාදයට පූර්වාදර්ශ සපයයි. අන්තවාදී කණ්ඩායම්වල දිනෙන් දින වර්ධනය වන බඳවා ගැනීමේ ක්‍රියාවලියෙන් මෙය පැහැදිලි වේ.
මේ ත්‍රස්තවාදී සංවිධානයේ ප්‍රචණ්ඩ අතීතය අමතක කිරීමට හෝ නැවත ලිවීමට ලෝක ප්‍රජාව බලාපොරොත්තු නොවනු ඇති බවටත් තවත් පරම්පරාවක තරුණ පරපුරක් මුලාවට පත් කර රැඩිකල්කරණය අරමුණු කරගත් මේ සංවිධානයේ ප්‍රචාරණයන්ට අවස්ථාව ලබා නොදෙනු ඇති බවටත් මාගේ ජනතාව බලාපොරොත්තු වෙති.
යුද්ධයේ කටුක බව අත් දුටු ජාතියක් ලෙස ශ්‍රී ලංකාව ලොව පුරා සාමය ප්‍රවර්ධනයට කැප වී සිටි. එක්සත් ජාතීන්ගේ සාම සාධන වගකීම් වෙනුවෙන් අපි සම්පූර්ණ වශයෙන් බැඳී සිටිමු.
එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සමග පවත්නා අපගේ දිගු කාලීන සබඳතාව පිළිබඳව අපි ආඩම්බරයට පත් වන අතර 20,000 කට අධික ශ්‍රී ලාංකීය සාම සාධක සෙබලු ලොව පුරා සාම සාධක මෙහෙයුම් හි සේවය කරති. ‍ඔවුන් දැඩි දුෂ්කර හා අනතුරුදායක ප්‍රදේශවල ගැටුම් වලින් පීඩාවට පත් ප්‍රජාවන්ට තීරණාත්මක සේවා සපයති.
ජාතියක් වශයෙන් ගෝලීය සාමයේ හා ආරක්ෂාවේ පොදු අරමුණට දායක වීමට අපි කැමැත්තෙන් සිටිමු.

එක්සත් ජාතීන් 75 වන වසරට ළඟා වන මේ මොහොතේ ජාත්‍යන්තර සාමය, ආරක්ෂාව හා සංවර්ධනය පිළිබඳ ප්‍රවේශය හා එහි සාර්ථකත්වය පිළිබඳව ස්වයං තක්සේරුවක නිරත වීමට මෙය මහඟු අවස්ථාවකි.
දිනෙන් දින වෙනස් වන ගෝලීය පරිසරයට ප්‍රතිචාර දක්වන අතරම එක්සත් ජාතීන්ගේ පද්ධතිය විසින් සමානාත්මතාව, සහභාගීත්වය සහ විනිවිදභාවය තහවුරු කළ යුතුය.
සංවිධානයේ තිරසරභාවය සහ විශ්වාසනීයත්වය සහතික කිරීම සඳහා සාමාජික රටවලට එරෙහිව මතභේදාත්මක අභිප්‍රාය ඇතිව කරන දේශපාලන දඩයම් නතර කළ යුතුය.
ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ ආණ්ඩු සිය ජනයාගේ හද ගැස්ම සහ අවශ්‍යතා මනාව වටහා ගනී. සිය ජනතාවගේ අවශ්‍යතාවන්ට තිරසාර විසඳුම් දීමට එසේ තේරී පත් වූ රජයන්ගේ ක්‍රියාදාමයට සහය වීම එක්සත් ජාතීන්ගේ වගකීමයි.
කිසියම් රටකට හෝ බලවේගයකට කිසිදු ආකාරයකින් ගැති නොවී මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට ශ්‍රී ලංකාව කැප වී සිටී.
ඉන්දීය සාගරයේ උපාය මාර්ගික මර්මස්ථානයක පිහිටා ඇති රටක් වශයෙන් ඉන්දියානු සාගරය සාම කලාපයක් වශයෙන් පවත්වාගෙන යාම තහවුරු කිරීම අපගේ ප්‍රමුඛතාවයි.
එපමණක් නොව, ජාතීන් රැසකට ආර්ථිකමය වශයෙන් වැදගත් මුහුදු මාර්ග ගණනාවක් සහිත ඉන්දීය සාගරය ගෝලීය වෙළඳාම් හා වාණිජ කටයුතු වලට විවෘතව තිබිය යුතුය.
භූ දේශපාලනික වශයෙන්ද සමස්ත ලෝකයේම අවධානය ඉන්දියානු සාගරයට යොමුව පවතී. මෙවන් තත්ත්වයක් යටතේ ඉන්දියානු සාගරයේ මධ්‍යස්ථභාවය පවත්වා ගෙන යාමටත් එහි වටිනා සාගර සම්පත් ආරක්ෂා කර ගැනීමටත් බලවත් රටවල් සහ ජාතීන් සිය සහයෝගය දිය යුතුය.
අවසාන වශයෙන් රාජ්‍යයන්ගේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සහ රාජ්‍යයන්ගේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් නොවීම පිළිගෙන ඇති එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ වැදගත්කම මම නැවත අවධාරණය කරමි.

ස්තූතියි!

මෙවැනි පුවත්  ඉක්මනින්ම දැනගැනීම සඳහා  අපගේ f.b පිටුව like    කර  තබා ගන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here