ආදාහනයද? භුමිදනයද?

0
167
edirige satahana

ආදාහනය කරනවා ද භූමදානය කරනවද යන්න වර්ථමාන ශ්‍රී ලාංකීය සමාජයේ ප්‍රධානතම කථිකාව බවට පත් ව ඇත . 


ආර්ථිකමය වශයෙන් අන්ත අසරණ ව සිටින ශ්‍රී ලංකාව වැනි සමාජයක් තුළ ප්‍රධාන කතිකාව ආදාහනය කරනවා ද භූමදානය කරනවාද වීම අතිශයින්ම කණගාටුවට මෙන්ම හාස්‍යයට ලක් වන කරුණකි . 


ගත වූ දශක කිහිපය පිළිබඳව අවධානය යොමු කිරීමේදී අපට පෙනී යන්නේ ශ්‍රී ලංකාව ක්‍රමක් ක්‍රමයෙන් දකුණු ආසාවේ කඳුළු බිංදුව බවට පත් වෙමින් පවතින බවයි . දකුණු ආසියාවේ මුතු ඇටය යන අබිමානය අපට අහිමි වෙමින් පවතී . 


1948දී අපට නිදහස ලැබුණේ කිසිදු අරගලයකින් තොරව ය . නිදහස ලබා ගැනීමෙන් පසුව අපේ රට පාලනය කරනු ලැබූ  ස්වදේශික නායකයන් රට ආර්ථික වශයෙන්, දේශපාලනික වශයෙන්, සංස්කෘතිමය වශයෙන් , සහ පාරිසරිකමය වශයෙන් , ඉදිරියට ගෙන යෑමට අපොහොසත්ව ඇත.  ඔවුන් සැම සැම විට ම කටයුතු කරනු ලැබුවේ තාර්කික පදනමකින් තොරවය .  


රට තුලට නව චින්තනය, නව දැනුම, නව සංකල්ප ගලා එන ආකාරයෙන් දොරටු විවෘත කිරීම වෙනුවට , විවිධ මිත්‍යා මත වලට , ගෝත්‍රික සංකල්ප යන්ට , අන්තවාදී ආගම් වලට නිදහසේ වර්ධනය වීමට හැකි ආකාරයේ පරිසරයක් ඔවුන් විසින් නිර්මාණය කරනු ලැබීය . 


1978 දී ජේ ආර් ජයවර්ධන විසින් හඳුන්වා දෙනු ලැබූ විවෘත ආර්ථිකය , ලෝකයේ බොහෝ රටවල් අනුගමනය කරනු ලැබූ විවෘත ආර්ථික සංකල්පයන්ගෙන් පරිබාහිර වූ විකෘති ලක්ෂණ පෙන්වනු ලැබූ ආර්ථික මොඩලය කි . විවෘත ආර්ථික  සංකල්ප උපරිම වශයෙන් දැකිය හැකි ඇමරිකා එක්සත් ජනපදය පවා  තම රටේ ජාතික නිෂ්පාදනයට මුල් තැන දෙමින් විවෘත ආර්ථික ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කරන ලදී .  නමුත් 1978 දී ශ්‍රී ලංකාවේ සිදු වුයේ එතෙක් පැවති දේශීය කර්මාන්ත සියල්ල විනාශ කර දැමීමට හැකි වන ආකාරයට ආර්ථිකය සතු සියලු දොරවල් විවෘත කර තැබීම ය .  ඊට අමතර ව දේශපාලනඥයන්ට සහ ඔහුගේ හිතවතුන්ට නිදහසේ ජාතික සම්පත් මංකොල්ල කෑමට අවශ්‍ය පරිසරය නිර්මාණය කර දීමත් සමඟම  , විවෘත ආර්ථිකය වෛරසයක් මෙන් මෙරට සමාජය ඔත්පළ ගන්වමින් සිටිති. ප්‍රතිඵලය අපට වඩා ගව් ගානක් පසුපසින් සිටි සිංගප්පූරුව මැලේසියාව දකුණු කොරියාව වැනි රටවල් පවා අප පසුකරමින් සීග්‍ර ආර්ථික වර්ධනයක් හිමි කර ගැනීමය . 


ශ්‍රී ලංකාව සෑම අතින් ම අසාර්ථක රාජ්‍යයක් බවට පත්වෙමින් තිබේ . ලෝකයේ වෙනත් රටවල් අසාර්ථක රාජ්‍ය යන්ට උදාහරණ ගෙන ඒමේ දී දැන් දැන් ශ්‍රී ලංකාවේ නම භාවිතා කරන දක්නට හැක . විශේෂයෙන් ණය කළමනාකරණයේ දී අසාර්ථකම තීරණ ගත් රාජ්‍යයක් වශයෙන් ශ්‍රී ලංකාව සැලකේ . චීන ණය උගුලට හසු වූ ප්‍රමුඛතම රාජ්‍යයක් වශයෙන් ශ්‍රී ලංකාව මේ වන විටත් නම් වී හමාරය . 


අප සතුව පැවති දේශීය කර්මාන්ත රැසක් මේ වන විට වැසී ගොස් ය . ධන නිධාන වැනි අප රට සතුව පවතින වරායන් වැනි ආර්ථික මරමස්ථාන, ඉන්දියාව, චීනය ජපානය වැනි රටවල් විසින් ගිල ගනිමින් තිබේ. රටේ පවතින සම්පත් විකුණා දමමින් එදිනෙදා ජීවිතය යන්තමින් ගැට ගසා ගැනීමට මෑත ඉතිහාසයේ බලයට පත් වූ සෑම ආණ්ඩුවක්ම කටයුතු කළේය. 


රටේ සම්පත් විකුණා දමමින් රටක් ඉදිරියට ගෙන යෑමට නොහැක . එමෙන් ම ජාතික සම්පත් වර්ධනය කරගැනීමක් මිසක ජාතික සම්පත් විකිණීමක් ආණ්ඩු වලින් අපේක්ෂා කළ හැකි ද ? පවතින සම්පත් විකුණාගෙන කෑම යනු ආර්ථික කළමනාකරණය නො වේ . විකුණාගෙන කෑමට නම් ඕනම කෙනෙකුට කළ හැක . 


අප රටේ ගොවීන් ලක්ෂ විස්සක් පමණ සිටිති . ඔවුන්ගේ සාමාන්‍ය ආදායම රුපියල් දහ අට දහසක් පමණි . ශ්‍රී ලංකාවේ ගොවීන් යනු අන්ත අසරණ කොට්ඨාසයකි .  ඔවුන්ට ඇත්තේ ඉතාමත් සීමිත දැනුමකි . නව තාක්ෂණය භාවිත කරන්නේ නැති තරම්ය . අස්වැන්න ගබඩා කර ගැනීමේ පහසුකම් නොමැත . නිවැරදි ප්‍රවාහන ක්‍රම භාවිත නොකරයි . එම නිසා අපතේ යෑම ද වැඩි ය . සාමාන්‍ය යෙන් කෘෂි නිෂ්පාදන වලින් සියයට හතළිහක් 50ත් අතර ප්‍රමාණයක් අපතේ යනු ලැබේ . මෙය ඉතාමත් කණගාටු කාරණාවකි . නිසි වෙළඳපළක් ද නොමැත . අස්වැන්න ලැබෙන කාලයට ගොවීන්ට සිය නිෂ්පාදන අලෙවි කිරීම ඉතාමත් අපහසු ය . ඕනෑම එළවළු වර්ගයක තොග මිල අස්වනු ලැබෙන කාලයේදී කිලෝ එකකට රුපියල් 10 ක ටත් වඩා අඩු අගයක් ගනී  . සමහර අවස්ථා වලදී  එළවළු තොග කිලෝ දහස් ගණනක් විකුණා ගැනීමට නොහැකිව ආර්ථික මධ්‍යස්ථාන අසල දී විසි කරනු ලැබේ . ඒවායේ පරිභෝජන වාසි ලබන්නේ  අලින් වැනි සතුන්ය . 


ගොවීන්ට සිය නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකි වුණත් , පාරිභෝගිකයන්ට එළවළු අඩුවට හිමි නොවෙයි  . වෙළඳ පොලේ එළවළු මිල අහසටත් උසය .  කිසිදු නිෂ්පාදන කටයුත්තකට ඵලදායි ලෙසට මැදිහත් නොවන අතරමැදියන් පිරිසක් විසින් ඉතාමත් ඉහළ ලාභ  ලබමින් සිටිති . පවතින ක්‍රමය ඇතුලේ අපේ රටේ කෘෂි ආර්ථිකය ඉහළ යෑමක් නම් දැකිය නොහැක . 


එළවළු පලතුරු නිෂ්පාදනයේ දී යොදා ගන්නා අධික රසායනික ද්‍රව්‍ය හේතුවෙන් එම නිෂ්පාදනවල ගුණාත්මක බව ඉතාමත් පහළ මට්ටමක පවතී . එවැනි රසායනික ද්‍රව්‍ය සඳහා සෘජුවම නිරාවරණය වීම නිසා ගොවි ජනතාව අතර වකුගඩු රෝගය ද ඉහළ මට්ටමක පවතී  . හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන ආකාරයට වකුගඩු රෝගීන් පන්දාහක් පමණ සෑම වර්ෂයකම අලුතින් වාර්තා වේ .  මෙවැනි තත්ත්වයන්ට පිළිතුර අළුතින් වකුගඩු රෝහල් ඉදි කරනවා ද , නැතහොත් මෙවැනි තත්ත්වයන් ඇති වීමේ ක්‍රම වේදනයන් නැවැත්වීම සඳහා කටයුතු කරනවා ද , ඔබ ම සිතා බලන්න .

 
අපේ රටේ පාරවල් සහ විවිධ ගොඩනැගිලි ඉදි කිරීම සඳහා රජය ඉතා විශාල මුදලක් වැය කරයි. ඉදිකිරීම්න සදහා ඉහල මුදලක්ත් වෙන් කරන්නේ එමගින් ඉතා පහසුවෙන් කොමිස් ලබාගැනීමට හැකිවීම නිසයි. නමුත් භූමියේ තිබෙන සැබෑ ප්‍රශ්නයට පිළිතුරු සෙවීම සඳහා කිසිදු රජයක් හරි අවධානයක් යොමු කරන බවක් නො පෙනේ . එම නිසා ශ්‍රී ලංකාවේ පුරවැසියන් සැමදාම දුක්කිත ජිවිත උරුමව පවතී . එම දුගී භාවය මතට අන්ධ විශ්වාසයන්, අන්තවාදී ආගම් වල අදහස් එක් වූ විට ජන සමාජයට එල්ල වන දුක තවත් වැඩි ය .

කාලයක් දුක සමගම ජිවත් වූ විට ඔවුන්ට එම දුක සාමාන්‍ය කරණය වේ. තමාට නිවසක් තිබු පමණින් , ස්ථිර මාසික අදායමක් තිබු පමණින් හෝ මෝටර් රථයක් තිබු පමණින් තමන් සතුටු දායක ජිවිතයක් ගත කරනවය යන අන්ද මෝහනයට යමෙකු පත්වීමට  පුළුවන. නමුත් නිදහසේ තමන් ගැනම කල්පනා කරොත් තමන් කෙතරම් ආර්ථිකමය වශයෙන් , සෞඛ්‍යමය වශයෙන් , බෙදුණු ජන සමාජයක සාමාජිකයෙකු ලෙස ආරක්‍ෂාව සම්බන්දයෙන් කෙතෙරම් අවදානමකට ලක්ව ඇද්ද යන්න පිලිබදව අවබෝදයක් ලබාගත හැක .


ආදාහනය කරනවා ද භූමදානය කරනවාද යන්න ට වඩා , රටක් වශයෙන් අප විසඳා ගත යුතු වූ කප්පරක් ප්‍රශ්න ගණනාවක් ඇත. අවාසනාවකට මෙරට පාලකයන් හට ද මෙරට ජනතාව හටද එම ප්‍රශ්න පිළිබඳව සැබෑ අවබෝධයක් නොමැත . 


එක්සත් ජාතීන්ගේ සංවිධානය සංවිධාන වාර්තාවන්ට අනුව ශ්‍රී ලාංකික පුරවැසියා යනු ඉහල සාක්ෂරතාවයකින් යුක්ත පුද්ගලයෙකි . නමුත් ඔවුන්ගේ දේශපාලන සාක්ෂරතාවය නම් ඉතාමත් පහළ මට්ටමක පවතින බවට කිව යුතුමය .  


මෙරට පාලකයන් විසින් තට්ටු මාරු තට්ටු මාරු ක්‍රමයට රටේ ජනතාව රවට්ටමින් ආණ්ඩු බලය අත්පත් කර ගනිමින් , රාජ්‍ය සම්පත් සූරා කමින් , ධන කුවේරයන් බවට පත් ව ඇත . නමුත් රටක් වශයෙන් අප දිනෙන් දිනම පරිහානියට ලක්වෙමින් ඇත. පාලකයන් ධන කුවේරයන් බවට පත් වෙද්දී රට දිනෙන් දිනම දුප්පත් වන්නේ කෙසේද? මෙය ඔබ ඔබෙන්ම නිතර ඇසිය යුතු ප්‍රශ්නයකි .


සමස්තයක් විදියට ජාතීන් විදියට බෙදුනු , ආගම් විදිහට බෙදුණු , කුල විදියට බෙදුණු , විවිධ ගෝත්‍රවාදී අදහස් වලින් ඔළුගෙඩි පුරවාගත් , හිස් මිනිසුන් පිරිසක් පාලනය කිරීමට පාලකයන් ඉතා කැමැති ය . ඒ විට ඔවුන්ට , තම පවුල්වල අවශ්‍යතාවයන්ට අනුව රට පාලනය කිරීම පහසු වේ . 


අවාසනාවට කරුණ මේ පිළිබඳව අපේ රටේ සාමාන්‍ය ජනතාවට තවමත් හරි හරි හැටි අවබෝධයක් නොමැති වීමයි . ප්‍රශ්න නගන පුද්ගලයන් නිහඬ කරමින් පවතී . ප්‍රශ්න නැගිය හැකි සමාජ ජාලා වැනි මාධ්‍යයන් නිහඬ කරවීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් පවතී . සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවම අක්‍රීය ජනතාවක් බවට පත්වෙමින් පවතී . 

මුළු ලෝකයම COVID 19 පැරදවීම සදහා විද්‍යාත්මක ක්‍රම හබා යද්දී අප විවිද පැණි සහ ගෝත්‍රික අදහස් පසු පස ගමන් කරමින් සිටිති . COVID 19 වසංගතය තුරවූ ලොවක් යනු නව ලෝකයකි. බොහෝ රටවල් ඒ සදහා සුදානම් වෙද්දී අප මල මිනි කරමත තබාගනිමින් මළවුන්ගේ ලෝකයක ජිවත් වෙති. පාලකයන්ගේ චෞර ප්‍රතිපත්ති ශ්‍රී ලංකාව ලෝකය ඉදිරියේ හැල්ලුවට ලක්කරවමින් සිටිති.


මේ යන ආකාරයට ශ්‍රී ලංකාව තව දුරටත් ඉදිරියට ගියහොත් ශ්‍රී ලාංකීය ජනතාවට අත් විඳීමට සිදු වන්නේ භූමදානය කලත් ආදානය කලත් ජීවත්ව සිටින කාලය ඉතාමත් දුක්ඛිත ආකාරයෙන් ගත කිරීමටය . අප එළබෙන නව ලෝකය මගහරවා ගනිමින් සිටින ජාතියකි.

මම එදිරි

මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here