EPF සහ රැකියා යන කාණ්ඩය යටතේ යදුම්පත් ප්‍රතික්ෂේපවී තිබූ රැකියා අපේක්ෂිත උපාධිධාරීන් තම රැකියා ගැටළුවට කඩිනම් විසඳුම් ඉල්ලා ඊයේ (23) කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට රැස්වී කොටුව දුම්රිය ස්ථානයේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පා ගමනින් ගමන් කර ජනාධිපති ලේකම් කාර්යාලයට තම ගැටලුව ලිඛිතව ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ලැබූහ. නමුත් එම අවස්ථාවේදී පිළිගත හැකි විසඳුමක් ලබාදීමට අදාල නිලධාරීන් අපොහොසත් වීම නිසා නැවතත් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටට පැමිණි උපාධිධාරීන් තම ඉල්ලීම් ලැබෙන තුරු එම ස්ථානයේ රැඳී සිටිමින් සිය විරෝධය රජයට එල්ල කිරීමට තීරණය කරන ලදී. ඒ අනුව ඊයේ රාත්‍රියේ ද අතිවිශාල උපාධිධාරීන් පිරිසක් කොළොඹ දුම්රිය ස්ථානය ඉදිරිපිට සිටිනු දක්නට ලැබුණි.
අද දිනයේ ද විරෝධතා වැඩසටහන් ගණනාවක් සංවිධානය කර ඇති බවට ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු පූජ්‍ය තැන්නේ ඥානානන්ද සාමින් වහන්සේ අප සමඟ පැවසීය. වැඩිදුරටත් කරුණු දැක්වූ පූජ්‍ය තැන්නේ ඥානානන්ද සාමින් වහන්සේ අප සමග ප්‍රකාශ කර සිටියේ, ජනාධිපතිවරයා රජයේ අනිත් ආයතන වලට කඩා පැනීමට පෙර තමා යටතේ ආරම්භ කරනු ලැබූ වැඩසටහන් සාර්ථක ව ක්‍රියාත්මක වනවාදැයි සොයා බැලිය යුතු බවයි. උපාධිධාරීන්ගේ මෙම ප්රශ්නය , මෙම අවස්ථාවේදී ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යාංශයක නො පැවතුනත් , රැකියා ලබා දීමේ කටයුත්ත ආරම්භ කරනු ලැබුවේ ජනාධිපති කාර්යාලයේන් බවත් , එම නිසා රැකියා ලබා දීමේදී සිදුව පවතින ව්‍යාකූල තත්ත්වයට ජනාධිපතිවරයා සහ ජනාධිපති කාර්යාලය සෘජුවම වගකිය යුතු බවත් , උන්වහන්සේ අවධාරණය කර සිටී.
EPF සහ රැකියා යන කාණ්ඩය යටතේ යදුම්පත් ප්‍රතික්ෂේපවී තිබූ උපාධිධාරීන් 10,000 ට රැකියා ලබාදීම සඳහා කැබිනට් අනුමැතියද පසුගියදා හිමිව තිබුණු අතර ඒ සම්බන්ධව අභියාචනා යොමු කිරීමට අවස්ථාව පසුගිය 15 වැනිදා දක්වා ලබාදී තිබුණි. නමුත් එම උපාධිධාරීන් සේවයට අනුයුක්ත කිරීම සම්බන්ධව කිසිදු දින වකවානුවක් ප්‍රකාශයට පත් කිරීමට රජය මෙතෙක් කටයුතු කර නොමැත.
එමෙන්ම අභියාචනය ඉදිරිපත් කිරීමට තිබූ කාල සීමාව තුළදී ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිසි අවබෝධයකින් යුතුව අදාල කාර්යය සිදු නොකර බවටත් , ලේඛන භාර ගැනීම සම්බන්ධයෙන් අදාළ අභියාචනා සහ ලියකියවිලි භාරගත් බවට වලංගු ලියවිල්ලක් හෝ අභියාචනය කරුවන්ගේ අත්සන ඇතුළත් විධිමත් ලේඛනයක් පවත්වා ගැනීමට වත් ඇතැම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල කටයුතු නොකෙරු බවටත් උපාධිධාරීන් චෝදනාකරනු ලැබීය.
මීට අමතරව ජයේ අමාත්‍යවරුන් විසින් තම හිතවතුන්ට රැකියා ලබාදෙන ලෙසට ඉල්ලා නිකුත් කරන ලද ලිපියක් ද පසුගියදා සමාජ මාධ්‍ය ජාලා වල සංසරණය වූ අතර මෙවැනි සිද්ධීන් ද මෙම රැකියා ලබාදීමේ වැඩපිළිවෙල විනිවිදභාවයකින් යුතුව සිදු නොවන බවට සාක්ෂි සපයන බව අසාධාරණයට පත් උපාධිධාරීන් පවසයි.
එමෙන්ම දැනට රැකියා ලබාදී ඇති පිරිස අතර ද මීට කලින් රැකියා කර ඇති සහ EPF අරමුදලට දායකත්වය සපයා ඇති උපාධිධාරීන් ගණනාවක් සිටින බවත් ඔවුන්ට එම අවස්ථාව ලබා දුන්නේ කෙසේද යන්න රජය පැහැදිලි කළ යුතු බවත් අසාධාරණයට පත් උපාධිධාරීන් ජයෙන් ප්‍රශ්න කර සිටී.
මෙම ගැටලුව සම්බන්ධව උද්ඝෝෂණ මාලාවක් පසුගියදා 16 වනදා දිවයිනේ සෑම දිස්ත්‍රික් කාර්යාලයක් ඉදිරිපිට දී සංවිධානය කර තිබිණි. එම උද්ඝෝෂණ මාලාවේම තවත් දිගුවක් ලෙසට ඊයෙ දින (23) කොළඹ දී පවත්වනු ලැබූ උද්ඝෝෂණය නම් කර හැකි බවට රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි.